Monday, December 14, 2015

දේදුන්නේ අයිතිය...

ලැබුන අසුරු සැනකින් නුඹ මා අමතනවා බලන්න...
සැප දුක, මා තුටින් නේද ඉන්නේ කියලා...
හදවත රැඳි දුක හංගා සනහස මුවගට කැන්දා..
මා සිත වැලපෙනවා නුඹෙ සිත සතුටින් තියලා...

හැඟුනද නුඹ දුකින් කියා මා කෙලෙසින් විමසන්නද...
මියුලැසියේ ඔබ ඉන්නේ දුකින් නොවෙද කියලා...
සිතුනත් නුඹ ගැන සොයන්න මගෙ කතාව කියා ගන්න...
බැරි හන්දා මා ඉන්නේ හදවත ගොලු කරලා...

දේදුන්නේ ලස්සන දැක සිතුනත් නතු කරගන්නට...
බැරි බව දැනෙනවා ඩිංගක් බැලුවම තතු සොයලා...
දේදුන්නේ අයිතිය සින්නක්කරවම පවර ගත්තු...
හිරු හිනැහෙනවා මා දෙස ඔච්චම් කර බලලා...

Saturday, November 28, 2015

නිවුනු සැනසීම...

කරපු හොඳ සහ නරක පොදි බැඳ..
අන් සියලු දේ හැර තියා...
යා යුතුයි අපි සැවොම දිනයක..
තවත් අම්බලමක් සොයා..

හිසකේ හදා හම රැලි මකා..
කෙරුවත් කොතෙක් පිරියම් කයේ..
හිසකේ හැලෙයි හම රැලි වැටෙයි..
නවතී දිනෙක ගැස්මත් ලයේ..

බිරිඳත් දුවත් හුරතල් පුතුත්...
තව හම්බ කල ධනයත් තියා...
කුසලත් පිනත් පමණක් අරන්..
යා යුතුය සසරේ මඟ සොයා..

හිත පිච්චෙමින් තන්හාවෙ ගින්දර..
ඇවිලෙනා හින්දාම...
භවයෙන් භවේ සංසාරයේ..
අපි සරනවා හැමදාම...

හැකි පමණකින් වඩමින් කුසල්...
වැලකී පවින් එහෙම..
පතනෙමු අපිත් මෙත් බුදුන් පාමුල..
නිවුනු සැනසීම...

Sunday, November 22, 2015

හැරගිය බිසව්...

පිදුරු ගහෙත් එල්ලෙන මිනිසෙකු වන්න..
පැදුර දිගැර තරු කැට ගැන ගැන ඉන්න..
බිසවුන් අතැර ගිය මැදුරක තනි වෙන්න..
තනිකම ඇවිත් මගෙ තනියට ලඟ ඉන්න..

උලලේනියත් වැලපුනු සීතල රෑක..
සඳ සාවියත් සඳ ඇසුරින් ගිය දාක...
නිකිනි මස ගෙවී කළුවර වැඩි මහක..
නිවසේ පහන නිවුනා මතකයි රෑක..

කෑලි කපන අඳුරින් එළියයි නිවස..
තනිකම සමඟ දොඩමලු වෙමි මුලු දවස..
මාහට නිවා ගන්නට සෙනෙහස් පවස..
ඉස්සර වගේ හමුවෙමු දොල ලඟ හවස..

කහට කෝප්පය මට හදලා දෙන්න..
ඇඳ ඉහ වාඩිවී හිස පිරිමදිමින් ඉන්න..
ගෙදරම පිරෙන්නට හිනැහී දුව පැන්න..
හිටියෙත් නුඹම පමණයි... මා හැර යන්න..

Wednesday, November 18, 2015

සුදු සමනළයා

සීතල සුදු පාට කිම නුඹ තටු මත්තේ..
කවුරුද නුඹේ දේදුනු පැහැ අරගත්තේ...
දුක හින්දාද පාට සඟවාගෙන ඇත්තේ..
කපුරු මලක නුඹ හට මල් පැණි නැත්තේ..

Saturday, November 14, 2015

මධු සමය ගෙවා ජීවිතය සොයා...

මධු සමය ගෙවා.. ජීවිතය සොයා.. යන..
නුඹ මට ඈතද.. කොයි තරම්...
තනිකම අවුදින් තනි රකින මගේ සිත..
අසරණ වූ හැටි මේ තරම්...

නුඹ හිනැහුනු හසරැලි මද නලේ..
මට ඇවිදින් ඇයි ඔච්චම් කලේ...//
මගෙ සුසුමන් හැංගුව වා තලේ..
කලු වළා නෙතු කඳුළු බිහි කලේ..

අද දවස ගෙවා.. හෙට හිරු පායන තුරු..
සිතුවිලි නිද්‍රාවට යවා..//
මා ඔබට මගේ මුලු දිවිය පවරමී...
එන්න මීවිත මා සොයා...

Monday, November 9, 2015

බාහුං සහස්ස මභිනිම්.. මිත සායුධං තං...

පෝරුවෙ පුන් කළස් කඳුලින් පිරුනා ද...
මා නැති අඩුව පිරිවර මැද දැනුනා ද...
කාලය නපුරු වී ඇති සැටි හැඟුනා ද...
දෙතොලින් හිනැහුනත් සිත දුක රැඳුනා ද...

රන් හුය යදම් බැඳි අතැඟිලි රිදෙන්නැති...
දිවියේ සතුට හද දොරගුලු දමන්නැති...
සිහිනෙන් වගේ මංගල ගී ඇසෙන්නැති...
නෙතු නොහැඬුවත් සිත සදහට මියෙන්නැති...

බාදක දුක් සුසුම් සතුටින් දරාගෙන...
ඔහු හා හිනැහෙන්න පැතුමන් පුරෝගෙන...
පුලුවන් උනත් නොවුනත් හිත හදාගෙන...
අපි ඉමු අපි ලඟින් සෙනෙහස දරාගෙන...

Tuesday, November 3, 2015

ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ..

වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ..
පොලවේ සිමෙන්තියෙ තෙත දෙපයට තේරේ..
අඩක් පිරුනු කුස ගින්දර නොම නෑරේ..
ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ..

සේදුව එකම ඩෙනිමත් තවමත් තෙතය..
කමිස තුනේ මුල් පැහැ මට අමතකය..
කොතරම් ප්‍රශ්ණ විසඳූවත් ගණිතමය..
විසඳුම් නොමැති ගැටලුව දුප්පත් කමය..

සුදුමැලි දෑස් තුල ඇඟ ලේ මදි හන්දා..
කලුපැහැ වෙලා ඇස් යට නිදි නැති හන්දා..
සඳ හැර ගියෙත් මම තරුවක් වුනු හන්දා..
දිනයක් තියේ අපිටත් අරුණළු කැන්දා..

Saturday, October 3, 2015

තාත්තා අහිමි දූ...

නිදි කුමරිය අවුදින් මගෙ නෙතු හෙමිහිට වහනවා
අම්මා ලඟ වාඩිවෙලා මගෙ හිස අතගානවා
වෙර වීරිය යොදාන මම ඇහිපිල්ලන් ගහනවා
බරට තියන නුඹෙ පියවර හඬ මගෙ හිත අහනවා

අත්පසුරින් සෙනෙහස ගුලි කරන් ඇවිත් මට දෙන
වටිනව පියානනි ලබුනට වැඩියෙන් රන් මුතු මින
නුඹගේ දහඩියේ සුවඳින් මගෙ සිත පුබුදාලන
ඔබෙ සෙනෙහසේ අග මුල මම තවමත් නැහැ දැනගෙන

පිංතූරයක හිටියත් නුඹ හිනැහී හැමදාම
මගෙ හිත හඬනවා සිතමින් නුඹ ගැන මුලු රෑම
ජයමංගල ගීත කියා අවසන් වූවාම
පෝරු මස්තකෙන් අඩියක් තියන්නෙ මම කෝම

Monday, September 14, 2015

අවපස ගෙවී වඩිනා විට පුර නලුව

අවපස ගෙවී වඩිනා විට පුර නලුව
අමතක වී ද මන්දා රැඳි තනි තරුව
දැනිලා කලෙක නුඹටත් බිනරෙහි කලුව
මියැදී තියේවි ද සොයනා විට තරුව

හඬනා විට දි දුක නෙත් කෙවිනි බොඳ කර
හසරැලි නැතත් වැලපුම නුඹෙන් මග හැර
අත්පසුරින් ම තුරුලට ලංකර නොහැර
පුදුමයි හැර ගියා සාවිය සඳ ඇසුර

රන්දා නුඹෙ සුවඳ මද නල හමා එතී
නුඹෙ හසරැල්ල දොල පාරේ ගලා යතී
මගෙ තනි කමට නම් අපෙ මතකයන් වෙතී
ජීවත් වෙන්න මට ඒ හොඳටෝම ඇතී


Saturday, September 12, 2015

පොහොසත් ප්‍රේමය

හැංගුන වෙලාවක හෙවනැල්ලත් මගෙ ම
දුටුවෙමි සමනලෙකු සමඟින් තම කුසුම
අපමන සෙනෙහසින් ඇගෙ නලලත සිඹින
පොතකින් පවන් සලමින් ඇය සෙනෙහසින

ඇගෙ සිත දුකින් මුදවා ලන්නද මන්දා
ඔහු අත දමා ඇගෙ ගෙල පාලුව බින්දා
කරගැට පිපුනු හිමිගේ අත රළු හින්දා
නොරිදෙන ලෙසින් ඇය හදවත පිරිමැද්දා

හිරු එලියවත් නොවැටෙන කලුවර රියක
හිරිගඩු පිපෙන හීතල ඇති දහවලක
රොන්සුනු විඳින බඹරෙකු දේදුනු මලෙක
දුටු සමනලය රහසක් පවසයි මලට

Thursday, September 10, 2015

තනිකම

කවුරුවත් නැති ජීවිතයකට
කවුරුහරි...

Monday, September 7, 2015

(අ) වාසනාව....

ඇහැකි වුනොත් විකුණ ගන්න
ඔක්කොම වාසනා ගොන්න
එහෙම දාට රෑට වතුර
ඕනි නැහැ ගොඩක්

පුංචි උන්ට රහ බලන්න
කැවිලි ටිකක් අරන් යන්න
ගන්න මහතුනේ මගෙනුත්
වාසනා පතක්

පොඩි කෙලීට උගන්නන්න
පුතාව ටියුෂන් යවන්න
ඔබට වගේ මගේ හිතෙත්
හීන නම් ගොඩක්

Saturday, September 5, 2015

ප්‍රදර්ශන කාමය..

සඳෙහි මුළු රැස් දහර
උරාගත් බඳු දළ රළ
හිස් ගුවන වෙත පැන නැග
උදම් වී නගන මහ ගොස

අසනු නොරිසිව එන කල
මහත් සඳවතෙහි අසිරිය
අනත් සඳ රැසෙහි ඉමිහිර
රැගත් ඒ නිහඩ පිණිබිඳ
සීතල පතෙක පතිතව
සෙමෙන් වියැකෙයි රහසින

ඉහත කවිය නන්දන වීරසිංහ කවියා විසින් පබඳින ලද්දකි.

අති මහත් වූ සඳෙහි රැස් දහර මුලු මුනින්ම උරා ගත්තේ යැයි සතුටු වෙමින් හිස් අහසට පැන නගිමින් ශබ්ද කරන මුහුදු රලෙහි පාරම් බෑම අසනු නොරිසිය. නමුත් එතරම් ම වූ සඳ රැසෙහි අසිරියත් අනන්ත වූ මිහිරත් දෙකම කැටිකොට ගත් පිණි බිංදුව සීතල පත්‍රයක් මත පතිතවී නිහඩවම සෙමින් නැතිවී සැඟවී යයි.

Friday, September 4, 2015

රත්න ශ්‍රී විජේසිංහයන් ගේ ප්‍රථම කවිය...

රත්න ශ්‍රී විජේසිංහයන්ට කවි ලියන්නට ගීතාංජලී කවි පත්‍රයද හේතූ වූවා විය හැක. එහි මුල් පිටුවේ චිත්‍ර පාදක කර ගනිමින් ඔහුට යන්තම් වයස අවුරුදු 14 වනවිට ලියූ පහත කවිපෙල තුන්වැනි ස්ථානය දිනා ගන්නා ලදී. ඔහුට රුපියල් 25 ක තෑගි මුදලක් ද ලැබුණි. මෙය ඔහුගේ නමින් පලවූ පලමු නිර්මාණය වීමද විශේෂයකි.

මල් මල් චීත්තය තිත් හැට්ටයකි ගත
බොල් මුතුපට ගෙලෙහි, හිල් කූඩයෙහි අත
කොල්ලෑවට නැගී පෑවත් සිනහ වත
කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත

Thursday, September 3, 2015

මතක ආකාසයේ...

මතක ආකාසයේ
දුකත් සතුටත් අරන්
වලාකුළු ඇදෙනවා
සුදුත් අව පැහැ දරන්


හිතේ දුක වැඩි උනොත්
දරන්නට බැරි තරන්
වැහි කඳුළු වැටෙනවා
මිහිකතම තෙත් කරන්

ඒ බවක් නොදන්නා
නුඹ පුංචි ඔරු හදන්
මගෙ කඳුළු ගංගාව
සෙල්ලමට ම අරන්

අතීතය අනාවක
එක ලඟට ලං කරන්
බැලුවාම දැනෙන්නේ
ජීවිතෙත් හොරු අරන්

Sunday, August 30, 2015

අපේ රට...

"තමන් විසින් ම මසාගත් ලොම් කබායකින් සැරසුණු 'ඉන්කමල්අපායි' ගුරුතුමිය සීතලයෙන් වෙවුලමින්, ළමුන්ට ඉන්දු සයුරේ පිහිටි ලංකාව නම් සුන්දර දිවයින ගැන කියා දුන්නාය. ලෝක සිතියමේ ලංකාව දිස්වූයේ ඉන්දියාව නැමති තන බුරුල්ල අග ඇඳුනු කිරි බිංදුවක් ලෙසිනි. ඒත් ගුරුතුමියගේ විස්තරය අනුව නම් එහි නැති දෙයක් ගැන සිතීම උගහටය. වඳුරන්, අලින්, කෙසෙල්ගෙඩි, ලෝකයේ ඉස්තරම් ම තේ,කෙලවරක් නැති ගස් කොලං, පළතුරු. ඒත් සියල්ලටම වඩා පුදුම ලංකාවේ දේශගුණයයි.  

ලංකාව කොච්චර උණුසුම් ද? වෙව්ලනවා යැති කියන්නේ කුමක් දැයි නොදැන එහෙ මුලු අවුරුද්දම ජීවත් වෙන්න පුලුවන්. හිම සපත්තු, හිම කබා, දර ඒ රටේ ජීවත් වෙන්න ඕනෑ නැහැ.එහි ජීවත් වෙන්නට තණබිම්වලට ගොස් ගොමරිටි එකතු කරගෙන ඒමට හෝ පිට රිදෙන තෙක් දර උසුලාගෙන ඒමට සිද්ධවෙන්නෙත් නෑ. 

අන්න ඒ රටේ ජීවත් වෙන ලැබුනා නම් ජීවිතය වටිනවා. තමන් කැමති දෙසකට යන්න පුලුවන්. කැමති විදියට හිරු එලිය නාන්න...අව් රස්නය වැඩිනම් හෙවණකට වෙලා ගිමන් අරින්න...අන්න ඒ රටේ ජීවත් වෙන ලැබුනා නම් ජීවිතය වටිනවා"

--චින්ගීස් අයිත්මාතව් (Chinghiz Aitmatov) විසින් රචිත Cranes Fly Early  කෘතියෙන් උපුටා ගැනීමක් රත්න ශ්‍රී විජෙසිංහයන් විසින් පරිවර්තනය කරන ලදී 


Friday, August 28, 2015

අපිත් ගියා..

අපිත් ගියා..

ආචාර්‍ය ජයලත් මනෝරත්න ශූරීන් ගේ 'සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය' කෘතිය දොරට වැඩීමේ උත්සවය පසුගිය 27 වෙනිදා සෞන්දර්ය සහ කළා විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. මේ එම උත්සවයේ අවස්ථා කීපයක්.

මෙය හුදෙක් පොතක් දොරට වැඩීමේ උත්සවයක් නොවී විචිත්‍රවත් උලෙලක් විය. මහාචාර්ය කෝලිත භානු දිසානායක උත්සවයේ ප්‍රථම අංගය ඉදිරිපත් කරමින්































Tuesday, August 25, 2015

වැලපිල්ල..

කුකුලාපොළ කිරි අම්මේ සමාවෙයන් මට
අහසින් බැස ගිය ගානයි සඳ තරු එකවිට
සඳට කොයින්දෝ එලියක් හිරු නැති අහසට
හද වාසල දොරටු අගුලු විවරයි නුඹ හට

Monday, August 24, 2015

අද වෙන තුරුම ආ මග නොමග ද මන්දා..

අද වෙන තුරුම ආ මග නොමග ද මන්දා..
මා පෙම් කලේ ඔබ මට පෙම් කල හන්දා..
දමයන්තිය ලෙසින් ඔබ ගැන සිත් බන්දා..
ඔබ ගොස් දුරක මා මෙහි තනිවම රන්දා..

සක්වා ලිහිණි සේ ජීවිත ගෙවන්නද..
වෙසතුරු ලෙසින් මා නුඹ අත හරින්නද..
දිඹුල් මලක බඹරිඳු වී සරන්නද..
මිරිඟු දියෙන් පවසට පැන් පතන්නද..

විඳි සොම්නසත් දුක එක ලෙස දරාගෙන..
උන්නා නොවෙද අපි සනහස පුරෝගෙන..
රණ හසු උවත් කාලය යන ගෙවීගෙන..
මල බඳිනවා වාගේ පය වෙලාගෙන...

ලස්සන කවි කීපයක් ඇහින්දෙමි....

පසුගිය පත්තර අතර සැරි සරද්දී අප ආදරණීය රත්න ශ්‍රී විජේසිංහ විසින් 1985 වසරේ ඔහු විසින් රචිත 'වස්‌සානේ' නම් කාව්‍ය සංග්‍රහයේ ඇතුලත් පහත කවිය ම සිත බැඳුනි.

අජානේය ඉස්‌කූටර තුරඟු පිට..
නැගී වාත වේගෙන් ඉගිළෙන කලට..
බදා හිමි දෙවුර ඉස්‌සී බලන විට..
වැටේ දැයි කිරුළ සිතුණි ය බිසවුන්ට..

පසු කලෙක මෙයින් ගීතයක් පවා බිහිවිය. ඔහු තමන්ගේ 'වස්‌සානේ' කෘතිය තම ආදරණීය බිරිඳ වන හේමමාලී ට පුද කරන්නේ පහත කවි පද පෙලිනි.

Sunday, August 23, 2015

සරුංගලේ...

සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ..

මේ සරුංගල් වාරෙ නිසා අපේ නගරෙ දරුවොත් පුලු පුලුවන් විදිහට පාසැල් නිවාඩුවෙ සරුංගලයක් යවන්න හදනව මම දැක්කෙ අද හවස මොරටුවෙදි. මේ දරුව ඉන්නෙ තට්ටු තුනක ගොඩනැගිල්ලක ඉහල. සරුංගලේ වලිගෙ ගොඩක් දිග නිසා මෙයා දුවගෙන එනකොට ඒක කොහේ හරි පැටලෙනව. ඉතින් ආපහු සෙල්ලම මුල ඉඳන්.. නමුත් පොඩි එකා උත්සහය අත අරින්න කල්පනාවකුත් නැහැ. කොම්පියුටර් එක්ක විතරක් ජීවත් වෙන සමහර දරුවොත් එක්ක බැලුවම මේ දරුවො ඊට වඩා සාරවත් කියල හිතෙනව...




Saturday, August 22, 2015

බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ..









බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ
දෙනි පෙත හඬන හිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටු වග නොම හැඟුනාවේ
මා නැතිදා උන්නු සුවඳක්‌ දැනුණාවේ

ඉහත කවි පද පෙළ බොහෝ දෙනෙක් විවිධ අර්ථ ගැන්වීම සහිතව යොදාගන්නා සුන්දර කවි පෙලක්. මේ කවියෙන් තමයි පරසතු මල් චිත්‍රපටය අවසන් වෙන්නේ.

ගම්පහ හග්ගල්ල ගමේ පී. කේ. ඩී. සෙනෙවිරත්න උපත ලබන්නේ 1917 මැයි 17 වන දාය. ඔහු ගුරුවරයෙකි, දක්‍ෂ කවියෙකි, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි, ලේඛකයෙකි, චිත්‍රපටි තිර රචකයෙකි, මානව හිතවාදියෙකි. ඔහු විසින් සරසවිය, නවයුගය ආදී පුවත්පත් වලට ද, මී වදය, සුවඳ, දේදුන්න වැනි සඟාවලට ද කවි රචනා කරන ලදී. ගංගා කුමරි, අත්තනගලු නදී කාව්‍යය, දිට්ඨ මංගලිකා, ගම්බද සුන්දරී, උන්මාද චිත‍්‍රා ඔහු විසින් රචනා කරන ලද කවි පොත් කීපයක්. එමිලි බ්‍රොන්ටේ ගේ ‘වදරින් හයිට්ස්’ නමැති ලෝක ප‍්‍රකට නවකතාව ‘උරුම ලද්දෝ’ යන නමින් සෙනෙවිරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කරන්නටද යෙදුනේය.

Monday, August 10, 2015

කවිකාර රජවරු සහ කවි මඩු

ලාංකීය කවියෙහි ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන කොට්ටේ යුගයෙන් පස්සෙ යම් තරමකට හරි කවිය නැවත ඉදිරියට ආවෙ මහනුවර යුගයේ දී. මේකට ප්‍රධාන හේතුවක් වුනේ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ භාෂා දැනුම කිව්වොත් වරදක් නැහැ. නායක්කර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගෙන් පසු රජ වූ නායක්කර් වංශික රාජාධි රාජසිංහ රජතුමා දක්ෂ කවියෙක්. ක්‍රි. ව. 1780 දී රජකමට පත් වු මෙතුමා මහනුවර රාජධානිය කරගෙන් අවුරුදු 18 රාජ්‍ය කලා. 

රාජාධි රාජසිංහ රජතුමාගේ ගුරුවරයා වුනේ මොරතොට ධම්මක්‌ඛන්ධ හාමුදුරුවෝ. උන් වහන්සේත් බොහොම දක්ෂ කවියෙක්. මේ අතර රජතුමාට කටකතාවක් ආරංචි වෙනවා, මල් වතු වෙහෙර වෙසෙන හාමුදුරුවො එක්ක යමිකිසි කාන්තාවක් සම්බන්ධ‍ කමක් පවත්වන බවත් රාත්‍රී කාලයෙහි පන්සලට යන බවත්. දවසක් රජතුමා මේකෙ ඇත්ත නැත්ත සොයන්න හිතල ගැහැණියක් වහේ වෙස් වලා ගෙන රෑ තෙරුන් වහන්සේ සැතපී සිටිය කුටියේ කවුළුව ලඟට ඇවිල්ලා අතෙහි වළලු සොලවන්නට ගත්තා. වළලු හඬ අසා අවදිවූ මොරතොට හාමුදුරුවො කාරණය අවබෝධ කරගෙන සිය යහන මත වැඩහිඳ මෙන්න මෙහෙම කවියක් කිව්ව,

ලකල මුව තඹර සිය ගත සිවු මැ ලියේ 
ඇසල මස දුටිමි යනවා දෙව් කෙ ළියේ 
අසල ක නම් දැක - දැක ඉන්ටත් ති ලියේ 
සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ

Sunday, August 9, 2015

සිත සිත්තම් කර ලියන්න..

සිත සිත්තම් කර ලියන්න..
එලි වැටකට පද තියන්න..
මේ තරමට හිත සුන්දර වී නැහැ කවදාවත්..

මල් මත වට පිනි බලන්න..
රෑහි ගීත අහන් ඉන්න..
කොහොමද හිත පුරුදු උනේ තාමත් රහසක්...

දේදුන්නේ පාට අරන් පීදෙන නෙක මල් අතරේ..
බිම් මල් කොයි තරම් හැඩ ද කියා හැඟෙනවා..
නෙක විසිතුරු පාට පාට අරුමෝසම් පැලඳි ලොවක..
පාට නැතත් ඔබෙ සුන්දර බව වැටහෙනවා..

පුන් සඳ පිපිලා අහසේ දොවමින් සඳ දිය රහසේ..
කඩුපුල් මල් එක්ක හෙමින් මුකුලු කරනවා..
හිනා වෙන්නෙ නැති උනාට කඩුපුල් මල් නොපිපුනාට..
අමාවකෙත් පුන්සඳ අහසෙහි පායනවා..

Tuesday, August 4, 2015

මතකයේ වරුසාවමයි..














සිත් අහස කළු කරන්..
අදත් මේ වහින්නේ..
හැමදාම නෙතු තෙමන..
මතකයේ වරුසාවමයි..

එදා සනහසේ මල්..
පීදෙන්න දිය බෙදූ..
සෙනෙහසේ වරුසාවමයි..

ප්‍රේමයේ කඩදාසි..
ඔරු හදන් පාකරන්..
ජීවිතේ කෙත් යාය..
අස්වද්දනු සිතන්..

පැතුම් මහ සාගරය..
පුරවාපු හැඩදාපු..
ප්‍රේමයේ වරුසාවමයි..

අනාවක දේදුන්න..
බොඳ වෙන්න තරමටම..
මතක මඩකඩිති සිත..
පාරන්න ඉතුරු වුන..

ජීවිතය සනසනා
යලි යලිත් හඬවනා..
වියෝවේ වරුසාවමයි..

Thursday, July 30, 2015

ලොවෙන් උතුම් ලඳ යසෝදරා...




කුමරුනි ඔබ මා අතැර ගියා නොව..
ඒ බැව් මම හොඳ හැටි දනිමී..
ජාති ජාති මුව ලෙහෙන කුලේ සිට..
ඔබගේ සෙනෙහසම මම විඳිමී..

Thursday, July 23, 2015

ඔබ නැති ලොවත් සඳ නැති අහසකි රෑට...
















තනිකම ඇවිත් මගෙ තනිකම මකන්නට..
එන්න ද අහනවා පිල පැන දොරකඩට..
තාමත් ඔහේ තාවර වෙන මගෙ හිතට..
කීවට අහන්නෑ "කවුරුත් නැහැ නුඹට"...

Wednesday, July 8, 2015

ඔබේ සිනහව...













ඔබේ සිනහව මැවේ සිත තුල ගෙනේ මට ආමිස සුවේ...
නිමක් නොමැතිව රඟන නෙතු යුග පරදවයි තරු කැට රැයේ...
මද නලත් මත් වීද මන්දා කෙලිදෙලෙන් ඔබෙ කෙහෙ රැලේ...
දෙතොල් පෙති විකසිතව අමරස දහර සවනත තෙත් කලේ...

Saturday, July 4, 2015

පුංචි තරුවක් ලෙසින් ඔබ දෙස බලමි.. ඔබ පුන් සඳ රැයේ..


















ස්නේහයෙන් විකසිතව පන්හිඳ මතුකලා සුන්දර කවක්..
ඒ සොඳුරු පද ගැලපුනේ නුඹ සිටි නිසා වී පුර සඳක්..

අමාවක නුඹමය කියා මා කෙලෙස අදහන්නද ප්‍රියේ..
අපේ සිහිනය මටත් නොකියා කොහෙද ඔබ අරගෙන ගියේ..

Wednesday, July 1, 2015

වැවකින් වතුර යන ගානයි පිටවානේ...















වැවකින් වතුර යන ගානයි පිටවානේ...
මටවත් මගේ නෙතු යුග අවනත නැහැනේ..
සෙවනැලි හොයනවා වාගෙයි තරු පානේ..
මා දුක් වන තරම් නුඹ දන්නේ නැහැනේ..

Thursday, June 18, 2015

ජීවිතය සහ තනිකම...















ජීවිතය ක්ෂිතිජයේ මායිම්ටම ගෙනත් අත ඇරපුවාම..
සයුර කොයිබද අහස කොයිබද සොයා ගන්නට කියපුවාම..

දැනෙනවා අසරණ කමක්.. කවුරුවත් නැති තනි බවක්...

Wednesday, May 20, 2015

තරු එලියෙන් පාර හොයන්..











තරු එලියෙන් පාර හොයන්..
රෑ බෝවී මම එනකොට..
සියුමැලියේ නුඹෙ සිනාව සඳක් වටිනවා...

Tuesday, May 19, 2015

නැහැ මට දුකක් හිටියත් පුටුවේ රෝද...













නැහැ මට දුකක් හිටියත් පුටුවේ රෝද..
ඔබ බය නැතිව ජීවත් වෙනවා නේද..
කීවත් කැනහිලුන් එක එක අවලාද..
ඔබගේ සිතින් අප අමතක වෙනවාද..

Thursday, May 14, 2015

තාමත් මගෙ හිත කියන්නෙ නුඹ ආපහු ඒවි කියල..














තාමත් මගෙ හිත කියන්නෙ නුඹ ආපහු ඒවි කියල...
මං ආයෙත් නුඹේ ලඟට එක්කරගෙන යාවි කියල...

නුඹෙ කට හඬ විහිළු තහලු නැති හින්දා හරි පාලුයි...
මෙතැන ඉන්න හැමෝම මා එක්කල නම් හරි යාලුයි...

Tuesday, May 12, 2015

විඳිනව නම් නුවර එලිය මෙහෙමයි ඇත්තටම ඔන්න..
















කොලඹ රටේ මහත්වරුන් හිත ගින්දර නිවා ගන්න..
අපෙ දුකින් හීතල වුනු නුවර එලියෙ එනවා..

කොලඹ තියන කුණු කඳු උස මදි හින්දද මන්දා..
අපෙ කරදර වලින් උපන් කඳු නගින්න යනවා..

Wednesday, May 6, 2015

අඩ අඳුරට කොයි දේවිත් සීදේවී...















අඩ අඳුරට කොයි දේවිත් සීදේවී හින්දා...
අම්මා වරුන්ටත් දරුවෝ මෙතැනදි පෙම් බැන්දා...

ලියමන - (හිරුත් හිම පියල්ලක - 2010) - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල


















මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ආදරණීය කලා කරුවාව ගොඩක් දෙනෙක් දන්නේ "සෙංකොට්ටං" කෘතිය තුලින්. නමුත් ඔහු කවියෙක්. ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වුනු "හිරුත් හිම පියල්ලක" කෘතිය 2011 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මාන ලබනවා. එහි ඇති "ලියමන" නම් කවි පංතිය නර්ථණ කණ්ඩායමක සිටින යුවතියක් ගැන ලියවූවක්. අප බාහිරින් නොදකින ඔවුන්ගේ ජීවිත වල ඇතුල් පැත්ත ඉතා සංවේදී ලෙස මෙයින් ඉදිරිපත් කර තිබෙනවා.

නෙලුම් කවි ලී කෙළි ඔලිඳ කවි
මෙහෙත් නැතුවා නොවෙයි අම්මේ
ඒත් ඒවා වෙනස් කර කර
අලුත් අයිටම්ස් හදනවා

මතකයි මමත් රැවටුනු හැටි මිරිඟුවට...

ප්‍රේමය, විරහව, මේ සියල්ල අප තනිව විඳිනවාට වඩා අප සමඟ සියල්ල බෙදා ගන්නා සොබාදහමත් සමඟ බෙදාගත හැකිය.

රතඹුරු හිනා වෙනකොට හිරු පායද්දී...
තණ අග පිණි කඳුළු වැලපේ මියැදෙද්දී...
මා හැර ගොසින් ඔබ ඔහු හා හිනැහෙද්දී...
නෙතු වැලපේවි මතකය සිත පාරද්දී..

Sunday, May 3, 2015

අපේ කසළ කන අපේ වන අලි...

















පහත ඡායාරූප පෙලින් දිස්වන්නේ කසළ ආහාරයට ගන්නා අලි රංචුවක්. කන්තලේ සිට සේරුනුවර දක්වා දිවෙන මාර්ගයේ යන බොහෝ දෙනෙක්ට මේ අලි රංචුව දැකගන්නට පුලුවන්. මෙතැන තමයි කන්තලේ ප්‍රාදේශීය සභාව කසල බැහැර කරන ස්ථානය. මෙසේ කසල ආහාරයට ගැනීමේන් මෙම සතුන් බොහෝවිට මරණයට පත්වෙන්න හැකියාවක් තියනව. මොකද මේ කසල සමඟ තියෙන පොලිතින් වැනි දේත් මේ අය ආහාරයට ගන්න නිසා. 

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයෙන් ඉවත් කරන කුණු කෑම නිසා මියගිය අලින් පිලිබඳව, බුද්ධංගල අභය භුමියේ කසළ ආහාරයට ගෙන මියගිය වන අලියා මෙන්ම තිස්සමහාරාමයේ කුණු වලවල් සාදා අලින් ගෙන්වා ගැනීම් සිදුකල හෝටල්, පොළොන්නරුව ගල්ලෑල්ල කැලෑබද ප්‍රදේශයට ගොඩ දමන කැළි කසළවල ඇති පොලිතින් ආහාරයට ගන්නා වන අලි ගැනද, අසන්නට ලැබුනු බව මතකය. 

Saturday, May 2, 2015

(අ)මතක...
















කිරිකැටියෙකුත් කර පින්නා, නුඹ බසයට ගොඩවුනේ...  නොසිතුව වෙලාවක...
මතකය සිත පුරා පිබිදිනි, මා පෙම් කල නුඹට, සුන්දර අතීතෙක....
දෙනුවන් විකසිතව, ඔබ පුදුමින් බලා, හෙලු ලෙංගතු සිනාවක..
සැඟවී තිබෙනු දුටුවෙමි දිවියේ, නොනිමෙන හිස් බව මම මනාවට...

Monday, April 27, 2015

දයා අල්විස් රංගන ශිල්පියාණනි ඔබට නිවන් සුව...!!!



1944 දී පයාගල දී උපත ලැබූ දයා අල්විස් මහතා ඉගෙන ගත්තේ කළුතර විද්‍යාලයේ. ඔහු නළුවෙකුට අමතරව වාදකයෙක් හා ගායකයෙක්. ඔහු 1958 දී පමණ රාගධාරී සංගීතයෙන් ගාන්ධර්ව විභාගය සමත්වුණා. ඉන්පසු ඔහු හේවුඩ් එකේ මහාචාර්ය එච්.ජී.එස්. ජයසේකර ළඟට සංගීතය ඉගෙන ගන්න යනවා. එහිදි සනත් නන්දසිරි, වික්ටර්, මර්වින් පෙරේරා වැනි අය මිතුරන් බවට පත් වුනා. අනතුරුව ඔහු භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. 






Sunday, April 26, 2015

සිදාදියේ නුඹ...













ගෙවුනු අතීතය කෙතරම් සුන්දර දැයි සිතන්න....
නොදුටුව අනාවක වෙනුවෙන් මා හැරදා නොයන්න...
සුන්දර මතක ගොන්නක් සින්නක්කර ගෙන විඳින්න....
ඇත්තෙන් හිතට හරි මදි ඔබ ඔබෙ පංගුව ගන්න....

Tuesday, April 14, 2015

නොනගතය නිමාවිය....




අපි අද අලුත් අවුරුද්දට වැඩිහිටි නිවාසයකට දානයක් දුන්නා. මෙතන මේ වෙනකොට 21 දෙනෙක් නේවාසිකව ඉන්නව. එයින් 16 දෙනෙක් ම යම් යම් මානසික රෝග වලින් පෙලෙන අය. මේ අයව මෙතනට යොමු කරල තියෙන්නෙ අංගොඩ මානසික රෝහලෙන්. මොකද මේ අයගෙ භාර කාරයො මේ අයව ගෙනියන්න අකමැති නිසා සහ ඇතැම් අය ව්‍යාජ ලිපිනයන් යොදා ලෙඩුන් අතුලත් කරල නිසා තමයි මේ අයට මේ වගේ තැනක පිලිසරණ පතන්න වෙලා තියෙන්නෙ. මෙතනට හැම මාසයකට සැරයක්ම වෛද්‍ය වරයෙකු ඇවිත් මේ අයගෙ රෝග තත්වයන් බලල නිසි ප්‍රතිකාර කරල යන බවත් දැනගන්නට ලැබුන.

අලුත් අවුරුදු.....

නගරයටත් අවුරුදු ඇවිල්ලා...

කොහාට අමතක වුනු අවුරුද්දේ... යකඩ කටින් මුදලාලි කෑගසා පවසයි අවුරුදු ආ බව සතුටින්...

කැවිලි හදන්නට කරදර හන්දා... කැමති උනත් දන්නේ නැති හින්දා කඩෙන් අරන් එයි කැවිලි පිටින්...

ගමේ යන්න වියදම් යන හින්දා... අතේ කාසි දැන් ඉවරත් හන්දා අවුරුදු සමරයි නගරෙ ඉඳන්...

දුවල පුතාලා ඒ යැයි සිතලා... අරන් තියපු කජු ටික පුස්සාලා අම්ම හදයි රස කැවිලි ඉතින්....


Saturday, April 4, 2015

දිවියේ තිබෙන අනියත බව තේරෙනවා...



ඊයෙ මහරගම පිලිකා රෝහලට ගියා ලෙඩෙක් බලන්න. ඒකත් අමුතුම ලෝකයක්. අපේ මිනිස්සු තවමත් අපේ සංස්කෘතියෙන් අපිට උගන්නපු හොඳ දේවල් පුරුදු පුහුණු කරන නිසාම එතනට ගොඩක් දාන නම් ලැබෙන බව දැනගන්න ලැබුනා. 

Wednesday, April 1, 2015

අපරාජිතෝ (The Unvanquished)

සත්‍යජිත් රායි ගේ අති සාර්ථක "පාතර් පංචාලිචිත්‍රපටියේ දෙවැනි කොටස ලෙස 1956 දී "අපරාජිතෝ" තිරගත වෙයි. "පාතර් පංචාලි" චිත්‍රපටියේ, අපූ ගේ සොයුරිය, දුර්ගා ගේ මරණයෙන් පසු ගම හැරදා යන තැනින් අවසන් වූ  කතාව "අපරාජිතෝ"  චිත්‍රපටිය ලෙසින් මෙතැන් සිට ඉදිරිපත් කරයි. මෙම චිත්‍ර පටියේ ඇතැම් අවස්ථා "පාතර් පංචාලි" චිත්‍රපටියටත් වඩා සංවේදී ලෙස ඉදිරිපත් කිරීම දැකිය හැක. 

Saturday, March 28, 2015

පිලිකාව...














ඔබ සිටින බව නොදන්නා තරමටම මාගේ සිත නිවී යයි....
ජීවිතය හෙමි හෙමි ඔබ නතු කරගන්න බව නම් හැඟීයයි...
ඔබට අවනත වනු නියා වෙන කිසිත් ඇති බව නොම පෙනීයයි...
මා නිසා ජීවිතය ලද ඔබ මා පෙලන්නේ ඇයි නොතේරෙයි....

Tuesday, March 24, 2015

අබුද්දස්ස....











තුන් පිටකයම මතකින් කියවන්න ඇහැකි නොවරද්දා...
පන්සල් දෙක තුනක් ගමකට ඇත පිටිසර වුව හද්දා...
දන්සැල් දැනුත් ඇත වෙසඟෙට කරමින් හරියට සද්දා...
කොතැනක නමුත් සිදු වී ඇති බව පෙනෙනව යම් වරදා...

Friday, March 20, 2015

මීවිත සහ ජීවිත...



විතක් හෙමි හෙමින් හිස් වන...
සිතුම් දවන සිත පාරන...
මතින් බමන ගතින් දැවෙන....
හිරු සැඟවෙන අඳුර ගලන...
ආයෙත් තව හැන්දෑවක්.... දවස ගෙනල්ලා....

Saturday, March 14, 2015

පාතර් පංචාලි (Song of the Little Road)

විසිවන සියවසේ බිහිවූ අග්‍රගන්‍ය සිනමා අධ්‍යක්ෂක වරයකු වන සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ඨ සිනමා කෘතියක් ලෙස "පාතර් පංචාලි" හඳුන්වන්න පුලුවන්.

ඔබ පොත් කියවන කෙනෙක් නම්, චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් පරිවර්තනය කරපු "මාවතේ ගීතය" කියවල ඇති. අන්න ඒ පොතේ මුල් කෘතිය ඇසුරින් තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නේ.

රායිගේ පළමු චිත්‍රපටිය වුනු, පාතර් පංචාලි (1955), කෑන්ස් සිනමා උළෙලේ දී (1956) ජාත්‍යන්තර සම්මාන 11 දිනාගන්න සමත් උනා. ඒ වගේම මෙය "අපූ" සිනමා ත්‍රිත්වයේ පලමු වැන්න ද වෙනවා.

Sunday, February 22, 2015

අම්මාවරුනේ...

ආදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතුවූ....

මෙහෙම කියන දූල පුතාල අතරෙ සමහර දියණියන්ට, පුතණුවන්ට වැදූ මවත් හැදූ පියත් අමතක වෙලා. මේ කියන කතාවේ අම්මලත් දූ පුතුන් ඉන්න අම්මලා. ඉතින් ඒ අම්මල තවමත් තමන්ගේ දූ පුතුන් එකනම් මේ විදිට බලන් ඉන්නව...

Saturday, February 21, 2015

බොරලැස්ගමුව දියත උයන... ශාරීරික ව්‍යායාමයට වැඩියමක්...

බොරලැස්ගමුව වැව වට කොට ඉදිකර ඇති මෙම දියත උයන අනෙකුත් ඒවාට වඩා පාරිසරික වශයෙන් වැදගත්. මේ දියත උයනෙ ඇවිදපු අය මේ දේවලුත් අත් දකින්න ඇති.....

පරිසරය සමඟ...

Thursday, February 19, 2015

සෙංකොට්ටං...

 


කියවන්න වටින තවත් පොතක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත මෙම නවකතාව ඒකාලයේ ලංකාවේ පැවති කුල ක්‍රමයත් එයින් සිදුවූ සමාජීය බලපෑම් ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කරනවා. කුඩා ලමයකු වටා ගෙතෙන මෙම නවකතාව එතැනින් ඔබ්බට යමින් ඒ කාලයේ පැවති සමාජය පිලිබඳවත් පුලුල් විග්‍රහයක් සිදුකරනවා. ලංකාවේ මෙවැනි සමාජයක් තිබුනාද කියල හිතෙන තරමට ඇතැම් කොටස් සංවේදීයි.  මෙන්න මේ සම්මානත් සෙංකොට්ටං පොතට ලැබිල තිබුනා.

Wednesday, February 18, 2015

ඔබ...

මගෙ හිත කියවන්න බැරි හන්දද මන්දා...
ඔබ හැම මොහොතකදිම මගෙ හදවත බින්දා...
කියු හැම දේම නුහුරට අරගත් හින්දා...
ඔබ ඇති තැනත් මා තනිකම අත්වින්දා....

තොටියකු නොමැති ඔරුවකි පාවෙන නදියේ..
තණ අග පිනි බිඳකි දිලිහෙන හිමිදිරියේ......
තනි තරුවක්ව ඇත අහසෙහි තනිව රැයේ...
මට නැත හිමිව කිසිවක් අද මගෙ දිවියේ...

මතු යම් දිනෙක ඔබ මා තෙරුම් ගත්දෙන්...
එදිනදි හිනැහෙන්න නැතිනම් වැලපෙද්දෙන්....
එතකන් සිටිය දෙන් නැතිනම් මිය යද්දෙන්.....
ජීවිත ගමන එතකින් කෙලවර වෙද්දෙන්...

Tuesday, February 10, 2015

අන්තිමයා...

ප්‍රේමකීර්ති මහතා ලියපු පලවෙනි සහ ඔහුව ඝාතනය කරන්නට පෙර ලියපු අවසාන නවකතාව තමයි "අන්තිමයා". බහුතරයක් අපි හැමෝගෙම තියන හොඳ සහ නරක දෙකම එකතු වෙලා බිහිවුනු අපි වගේ මිනිස්සු ගැන කතා කරන සරල නමුත් හිතන්නට යමක් ඉතුරු කරන නවකතාවක්.


අමතක මතක...



මධුවිත කාන්තා රූපකයක් ලෙස යොදා ගනිමින් තරුණයකු යෙදෙන සංවාදයක් මෙහි තේමාවයි. ඔහුගේ අතීතාවර්ජනයත් එයම ඔහු වර්තමානය තුල දරා ගන්නා අන්දමත් ඒ සමඟම ඉදිරිපත් කරයි.

අමතක මතක හිත පතුලේ වැලපෙන හින්දාම...
ඒ හැම මතක ඔබ වෙනුවෙන් නිමැවුනු හින්දාම....
රිදවන තරමටම මා සිත පිනවන හින්දාම....
මියයමි නැවත නැවතත් මා ඉපැදෙන හින්දාම....

මට මා අහිමි අද දින ඔබ වෙනුවෙන් වැලපෙන්න...
තරමට අසරණයි නැහැ කවුරුත් අත්වැල වෙන්න...
හිස්වන විතින් විත පුරවා සිත සනසා ගන්න....
වෙර ගමි තවත් එක දිනයක් මෙලෙසින් නිමවන්න...

සිතුවිලි අකීකරු ඇයි මෙතරම් මට අවනත නොවී...
බොලඳද මා වැලපෙන්න මෙතුවක් නුවනට ඉඩ නොදී....
දින දින හිස් වෙමින් පිරවෙන තනියට පේ වෙවී....
දියකර හරින්නේ ඔබවද මාවද පෙම්බරී....

Monday, February 9, 2015

අවන්හල....



විදුලි පංකා  පවන් සලමින් කෑගසයි සිහිලස සොයා...
ගැබ් බරවු බැලලියක අවුදින් පැටවුන්ට කෑමක් සොයා...
නිවෙන දැල්වෙන රත් පාට එලි වැලපේවි තව සුසුමක් සොයා...
විතින් විත හිස් වෙමින් පිරවෙයි දිවි පවස නිමවනු නියා...

කතා දොඩමලු සිනා විකසිත...බලා ගත්වන බලා සිටි අය
ලැසිව පැමිණෙන අලස ලෙස යන... යා නොයම් දෝ සිතන නොසිතන...
දෙනෝ දාහක් අතර තනිවුන... කවුරුවත් කාගෙවත් නොම වන....
නමුත් සැමදෙන හැමෝගෙම වන.....
මේ තමයි නගරයේ තව එක නවාතැන් පලක්....!

Sunday, February 8, 2015

දවස තවමත් තරුණයි


කලාකරුවකු, නට්‍යවේදියකු වන ආදරනීය ජයලත් මනෝරත්න රචනා කරපු මේ පොත කියවන්න වටින ලස්සන පොතක්. විශේෂයෙන්ම මේ පොත ලියල තියන භාෂා රටාව හරිම සරළ ඒ වගේම සිත්ගන්නා සුලුයි. රූපක මවා ගැනීමට පහසු වන විදියේ භාෂාවක් තමයි මුලු පොත පුරාම යොදාගෙන තියෙන්නේපුංචි උදාහරණයක් විදිහට පහත වාක්‍ය කීපය බලන්න.