Saturday, November 28, 2015

නිවුනු සැනසීම...

කරපු හොඳ සහ නරක පොදි බැඳ..
අන් සියලු දේ හැර තියා...
යා යුතුයි අපි සැවොම දිනයක..
තවත් අම්බලමක් සොයා..

හිසකේ හදා හම රැලි මකා..
කෙරුවත් කොතෙක් පිරියම් කයේ..
හිසකේ හැලෙයි හම රැලි වැටෙයි..
නවතී දිනෙක ගැස්මත් ලයේ..

බිරිඳත් දුවත් හුරතල් පුතුත්...
තව හම්බ කල ධනයත් තියා...
කුසලත් පිනත් පමණක් අරන්..
යා යුතුය සසරේ මඟ සොයා..

හිත පිච්චෙමින් තන්හාවෙ ගින්දර..
ඇවිලෙනා හින්දාම...
භවයෙන් භවේ සංසාරයේ..
අපි සරනවා හැමදාම...

හැකි පමණකින් වඩමින් කුසල්...
වැලකී පවින් එහෙම..
පතනෙමු අපිත් මෙත් බුදුන් පාමුල..
නිවුනු සැනසීම...

Sunday, November 22, 2015

හැරගිය බිසව්...

පිදුරු ගහෙත් එල්ලෙන මිනිසෙකු වන්න..
පැදුර දිගැර තරු කැට ගැන ගැන ඉන්න..
බිසවුන් අතැර ගිය මැදුරක තනි වෙන්න..
තනිකම ඇවිත් මගෙ තනියට ලඟ ඉන්න..

උලලේනියත් වැලපුනු සීතල රෑක..
සඳ සාවියත් සඳ ඇසුරින් ගිය දාක...
නිකිනි මස ගෙවී කළුවර වැඩි මහක..
නිවසේ පහන නිවුනා මතකයි රෑක..

කෑලි කපන අඳුරින් එළියයි නිවස..
තනිකම සමඟ දොඩමලු වෙමි මුලු දවස..
මාහට නිවා ගන්නට සෙනෙහස් පවස..
ඉස්සර වගේ හමුවෙමු දොල ලඟ හවස..

කහට කෝප්පය මට හදලා දෙන්න..
ඇඳ ඉහ වාඩිවී හිස පිරිමදිමින් ඉන්න..
ගෙදරම පිරෙන්නට හිනැහී දුව පැන්න..
හිටියෙත් නුඹම පමණයි... මා හැර යන්න..

Wednesday, November 18, 2015

සුදු සමනළයා

සීතල සුදු පාට කිම නුඹ තටු මත්තේ..
කවුරුද නුඹේ දේදුනු පැහැ අරගත්තේ...
දුක හින්දාද පාට සඟවාගෙන ඇත්තේ..
කපුරු මලක නුඹ හට මල් පැණි නැත්තේ..

Saturday, November 14, 2015

මධු සමය ගෙවා ජීවිතය සොයා...

මධු සමය ගෙවා.. ජීවිතය සොයා.. යන..
නුඹ මට ඈතද.. කොයි තරම්...
තනිකම අවුදින් තනි රකින මගේ සිත..
අසරණ වූ හැටි මේ තරම්...

නුඹ හිනැහුනු හසරැලි මද නලේ..
මට ඇවිදින් ඇයි ඔච්චම් කලේ...//
මගෙ සුසුමන් හැංගුව වා තලේ..
කලු වළා නෙතු කඳුළු බිහි කලේ..

අද දවස ගෙවා.. හෙට හිරු පායන තුරු..
සිතුවිලි නිද්‍රාවට යවා..//
මා ඔබට මගේ මුලු දිවිය පවරමී...
එන්න මීවිත මා සොයා...

Monday, November 9, 2015

බාහුං සහස්ස මභිනිම්.. මිත සායුධං තං...

පෝරුවෙ පුන් කළස් කඳුලින් පිරුනා ද...
මා නැති අඩුව පිරිවර මැද දැනුනා ද...
කාලය නපුරු වී ඇති සැටි හැඟුනා ද...
දෙතොලින් හිනැහුනත් සිත දුක රැඳුනා ද...

රන් හුය යදම් බැඳි අතැඟිලි රිදෙන්නැති...
දිවියේ සතුට හද දොරගුලු දමන්නැති...
සිහිනෙන් වගේ මංගල ගී ඇසෙන්නැති...
නෙතු නොහැඬුවත් සිත සදහට මියෙන්නැති...

බාදක දුක් සුසුම් සතුටින් දරාගෙන...
ඔහු හා හිනැහෙන්න පැතුමන් පුරෝගෙන...
පුලුවන් උනත් නොවුනත් හිත හදාගෙන...
අපි ඉමු අපි ලඟින් සෙනෙහස දරාගෙන...

Tuesday, November 3, 2015

ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ..

වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ..
පොලවේ සිමෙන්තියෙ තෙත දෙපයට තේරේ..
අඩක් පිරුනු කුස ගින්දර නොම නෑරේ..
ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ..

සේදුව එකම ඩෙනිමත් තවමත් තෙතය..
කමිස තුනේ මුල් පැහැ මට අමතකය..
කොතරම් ප්‍රශ්ණ විසඳූවත් ගණිතමය..
විසඳුම් නොමැති ගැටලුව දුප්පත් කමය..

සුදුමැලි දෑස් තුල ඇඟ ලේ මදි හන්දා..
කලුපැහැ වෙලා ඇස් යට නිදි නැති හන්දා..
සඳ හැර ගියෙත් මම තරුවක් වුනු හන්දා..
දිනයක් තියේ අපිටත් අරුණළු කැන්දා..