Wednesday, December 21, 2016

දවසක් පැල නැති හේනේ....

හේනේ වැස්සට අසුව ගහක් යට හිටගෙනේ
මට උඩින් නැමීගෙන මාව නොතෙමෙන මෙනේ
ඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුණනේ
අම්මේ ඔබ නැති ලොවක මා කෙලෙස ලොකු වුණේ

ඉහත කවිය 'දවසක් පැල නැති හේනේ' ගීතයේ ගේය පද රචක අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්නයන් විසින් තම මව සිහිකර ලියූවකි. ඉහත කවියේ සිදුවීම ඔහුගේ සත්‍ය අද්දැකීමක් බවත් ගීතයට පාදක වූයේ එය බවත් ඔහු තම මවගේ අභාවයෙන් පසුව 'ඉරිදා ලක්බිම' පුවත්පතට ලියූ ලිපියක දක්වා ඇත.

Thursday, September 22, 2016

විමලරත්න කුමාරගම කවියා පිලිබඳ කෙටි සටහනක්

බුද්ධදාස ගලප්පත්ති කවියාගේ සහෘද සටහන් පලමු කොටස කියවන විට එහි තිබූ විමලරත්න කුමාරගම කවියා පිලිබඳ ලියවුනු ලිපිය දැක ඔහු ගැන පොඩි සටහනක් තබන්නට සිතුනා. 1919 ජනවාරි 18 වෙනිදා නාරම්පනාවේ උපත ලැබූ කුමාරගම කොලඹ යුගයේ කවීන් අතර ඉහලින්ම කතා කරන කවියෙක්.කවි දහස් ගණනක් ලියූ කුමාරගම විසින් ලියා පළකරන ලද්දේ කවිපොත් දෙකක් පමනයි. ඒ 1942 දී පළකර “සංවේග වේදනා” සහ 1946 දී පළකල “හපුමලී” නැමති කවිපොත් දෙක. 

සුන්දර ගැමියකු ලෙසින් සහ මිනිසෙකු ලෙසින් ප්‍රකට ඔහු අතින් ලියවුනු කවි අතර වන්නියේ මල්, හරක් හොරා, අයියනායක, යම්තම් බේරුණා, ගමේ වැව, හේරත්හාමි වැනි කවි නිර්මාණ අදටත් රසවිඳිය හැකියි. පහත දැක්වෙන්නේ වලස් දඩයම නම් වූ කවි පංතියේ අඩංගු කවි කීපයක්. පැටවුන් සමඟ දිය බීමට පැමිණි වලස් මවකට වෙඩි තැබීමේ සිද්දියක් සහ මාතෘ දාරක ප්‍රේමය කවියා මෙහි ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කරනවා.

වමි ඇළයට ‍වැටී ගති ඒ වැලහින්න
මම කෑගසි‍මි කඩියට වෙිඩි නොති‍යන්න
දඟලන අතර ඈ තැති ගෙන නැගිටින්න
දුක්මුසු ‍ලෙසින් ‍හැඩු‍වා පොඩි දරැ දෙන්න

පොඩි පැටවුනුත් ඇදගෙන රැඳෙන ඉඩ නොදී
ආ කැලයට ම ඵ් මව පැනපි ‍ඇදි අැදී
කකුලක් කැඩී ගියමුත් ඇයගෙ ‍වෙඩි වැදී
දරු පෙම මරන්නට ඵ් මව‍ට ඵය මදී‍

ගොලුවන් කියන දේ ‍වැටහෙන සවන් පෙතී
මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
දරුවන් දක්න විට සිය මෑණියන් නැතී
ඵ් හැම දෙනම මගෙ ළග නෑ සියන් වෙතී

කුමාරගම දක්ෂ හිටිවන කවියකුද වෙයි. අනුරපුර කච්චේරියේ සේවය කරන ලද කාලයේ, ඇතැම් දිනවලදී, තම කාර්යාලයේ ලිපිකරුවන් හා ලිපිකාරිණියන් සමඟ එකට වාඩිවී, සතුටු සාමිචියේ යෙදෙමින් දිවා ආහාරය ගැනීම ඔහු සිදුකරයි. දිනක් මෙසේ ආහාර ගන්නා අතරතුර දඟකාර තරුණ ලිපිකාරිණියක් විමලරත්න කුමාරගමගෙන් මෙසේ ඉල්ලීමක් කර තිබෙනවා.

"සර් ඔබතුමා අතිදක්ෂ කවිකාරයෙක් බව අප දන්නවා. ඔබතුමාගෙන්, හිටිවන කවියක් අහන්න අපි කැමැතියි. අනේ සර්! මා ගැන හිටිවන කවියක් කියන මෙන් මා කරුණාවෙන්, ගෞරවයෙන්, ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා"

"කෙල්ලේ, උඹ තාම නාඹර වයසේ ඉන්න දඟකාර පොඩි කෙල්ලක්. මහ ගෑණියක් නොවෙයි. ඒ නිසා, උඹට මං හතරපද හිටිවන කවියක් වෙනුවට, දෙපද හිටිවන කවියක් කියන්නම්" යැයි පහත කවිය කියා තිබෙනවා.

නංගි ඉන්න හැටි දැක්ක ම
මේසෙට ඇණ ඇණ
මටත් වැඩිය පින්කළ බව
දැනෙයි මේසේ කොණ


Monday, September 19, 2016

සඳ සාවිය

සාවියක ලෙස උණුහුමට
ගෙවෙනතුරු හද දවන සීතල
රැඳී පුලුල් උර මත
වසන්තයේ නික්මයන බව
නොකීවත් නුඹ
දැනුනු හන්දා මට
සිත්තම් කලෙමි රුව
දකින්නට ඉඳහිට
හිමකර මත

Monday, September 12, 2016

කුඹල් කරුවාගේ ගීතය

නුඹේ වික්ශිප්ත සිත..
ප්‍රේමයේ සකපෝරුවේ..
සෙනෙහසේ අතැඟිලි මතින්..
විශ්වාසයේ සිහිල් දිය..
මුහුකොට තැනූ..
විවාහය නම් පුන්කළස..
ඉහල මිලකට අලෙවි විය..
තැනුම් මහන්සියවත් නොලැබී මට..

Sunday, September 11, 2016

කෙටි කසාදය

සිතාසි ලියමන ලැබුනා ඊයේ
අම්මා ලියමන අරගත්තේ
අප්පච්චී කිව්වට පස්සෙයි මං
උසාවි දිනයත් දැනගත්තේ
දෑඟිලි එක්කල රන් හුය කොතැනද
අප දෙදෙනා මඟ හැරගත්තේ
ඔබයි මමයි දරු පැටියයි නොවෙදෝ
අන්තිමටම තනි වී ඇත්තේ

ඔයාගෙ නැහැයයි
මගේ ඇස් දෙකයි
වාත්තු කරලා දූගෙ වතේ
කොහොමද දෝනිව බෙදාගන්නෙ අපි
තාමත් මට වැටහෙන්නෙ නැතේ
අම්මේ තාත්ත අදවත් ඒවිද?
අසමින් දැවටෙන මගේ ගතේ
මෙච්චර හරියක් කොහොම කියන්නද
දාහක් දේවල් මගේ හිතේ

අවසන් වරටත් කතා කරන්නට
එන්නට සිතුනත් ඔබව සොයා
මගෙ හිත හෙමීට මටම කියනවා
ඔබ මට අයිති නැහැ කියා
අතීතයම අත්පසුරට ගුලිකර
ලිපට දමා සිත ගිනි තියා
දෝනිත් අරගෙන බලන්න එන්නම්
උසාවි පෝරුවෙ ඉන්න ඔයා


Wednesday, September 7, 2016

2009 - 2016 දක්වා රාජ්‍ය සාහිත්‍ය / ස්වර්ණ පුස්තක සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත්

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට තව දින කීපයයි. පොත් ලයිස්තුවක් අතැතිව ගියොත් තෝරා ගන්න ගොඩක් ලේසි වෙයි. නමුත් හොඳ පොත් කොහොමද දැනගන්නේ කියන එකත් ප්‍රශ්ණයක්. ඒක නිසා පොඩි පොත් ලයිස්තුවක් හැදුවා. 2009 සිට 2016 දක්වා රාජ්‍ය සාහිත්‍ය සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් එමෙන්ම ස්වර්ණ පුස්තක  සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් මේ ලයිස්තුවේ තියෙනවා. නිර්ණායක හරියටම හරි නැති වෙන්න පුලුවනි. නමුත් අඩුම තරමින් යම් කිසි තෝරා ගැනීමකට ලක්වූ පොත් නිසා වැදගත් වේවි කියා හිතනවා. (PDF)

2009 රාජ්‍ය සාහිත්‍ය  සම්මානිත සහ නිර්දේශිත පොත්

නිර්දේශිත නවකතා

හොඳම නවකතාව - පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක
බොරතෙල්බ - ටුවන්ගල රාහුල හිමි
අන්ධකාර තාරකාව - කරුණාදාස සූරියආරච්චි
එපුර රජ වූ ඇය - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
සත්‍යකාම - කැත්ලින් ජයවර්ධන

සම්මානිත පොත්

හොඳම නවකතාව - පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක
හොඳම කෙටි කතා සංග්‍රහය - ආචාරි සීයා දුටු දිදුලන සිහිනය - පියල් කාරියවසම්
හොඳම කාව්‍ය සංග්‍රහ මාරියාව - අජිත් තිලකසේන සහ මගේ කොළඹට හඳ පායයි - එරික් ඉලෙයප්පආරච්චි
හොඳම පරිවර්තන නවකතාව - ඔබ්ලමෝව් - ආනන්ද අමරසිරි
හොඳම කෙටිකතා සංග්‍රහය (පරිවර්තන) - සොඳුරු සිතුවම් - චන්දන මෙන්ඩිස්
හොඳම ගීත සංග්‍රහය - විසිතුරුය රෑ අහස - මහාචාර්ය සුනිල් ආරියරත්න
හොඳම නාට්‍ය ග්‍රන්ථය (පරිවර්තන) - චරන්දාස් සහ චරන්දාස් හොරා - පරාක්‍රම නිරිඇල්ල
හොඳම ළමා සාහිත්‍ය කෘතිය - රජ ගොනා - අරිසෙන් අහුබුදු
හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය - නිධාන කැලේ අභිරහස - දිනේෂ් ගුණතිලක සමරවික්‍රම
හොඳම විවිධ විෂය ශාස්ත්‍රය කෘතිය - ලග්ගල ජනවහර - කේ.බී. මානෑව, බුදුසමය හා පාප සංකල්පය - ගැමුණුපුර සෝමවංශ හිමි
හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථය (පරිවර්තන) ක්‍රිස්ටීන් ස්පිට්ල්ගේ මතක සටහන් - ප්‍රේමචන්ද්‍ර අල්විස්, ලංකාවේ

2009 ස්වර්ණ පුස්තක  සම්මානිත සහ  නිර්දේශිත නවකතා

හොඳම නවකතාව - පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක
බොරතෙල්බ - ටුවන්ගල රාහුල හිමි
අන්ධකාර තාරකාව - කරුණාදාස සූරියආරච්චි
එපුර රජ වූ ඇය - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
සත්‍යකාම - කැත්ලින් ජයවර්ධන

2010 රාජ්‍ය සාහිත්‍ය  සම්මානිත පොත්

හොඳම නවකතාව - කන්දක් සේමා - සුමිත්‍රා රාහුබද්ධ
හොඳම යොවුන් නවකතාව - සොර නැව බිල්වුණු සුනාමිය - රංජිත් ධර්මකීර්ති
හොඳම කෙටිකතා සංග්‍රහය - මුවා මැරූ සලටන් - නිශ්ශංක විජේමාන්න
හොඳම පරිවර්තන නවකතාව - ජොආනා - බිඳීගිය ඉරාකයේ කුර්ද් ජාතික පෙම්වතියගේ කතාව - කුමාර සිරිවර්ධන
හොඳම කාව්‍ය සංග්‍රහය - රැය කරා ගමන - නන්දන වීරසිංහ
හොඳම ගීත සාහිත්‍ය කෘතිය - වසත් කාලය - රවි සිරිවර්ධන
හොඳම ළමා සාහිත්‍ය කෘතිය - එකමුතු ගීතය - ඩී. සුභාෂිණි ගොඩගේ
හොඳම ස්වතන්ත්‍ර විවිධ විෂය (ශාස්ත්‍රීය) - ලේකම් මිටි විමර්ශනය - ආචාර්ය එච්. ඒ. පී. අභයවර්ධන
හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය ග්‍රන්ථය - සුදු රෙදි හොරු - ජයලත් මනෝරත්න
හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහය - මගේ පුංචි කුමරිය - අනිල් පෙරේරා

හොඳම පරිවර්තන ශාස්ත්‍රීය කෘතිය සඳහා ත්‍යාග හා සම්මාන තුනකි.

1. වැද්දෝ - චන්ද්‍ර ශ්‍රී රණසිංහ

2. සාහිත්‍ය විචාර රචනා - මහාචාර්ය ඒ. වී. සුරවීර

3. සිංහල ගී කාව්‍ය කෙරෙහි සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ බලපෑම - මහාචාර්ය රෝහිණී පරණවිතාන

හොඳම පරිවර්තන නාට්‍ය කෘතිය යුර්පිඩීස්ගේ ඇල්කීස්ටිස් - ආචාර්ය චන්දිමා එස්. එස්. එම්. වික්‍රමසිංහ

2010 ස්වර්ණ පුස්තක  සම්මානිත සහ  නිර්දේශිත නවකතා

හොඳම නවකතාව - කන්දක් සේමා - සුමිත්‍රා රාහුබද්ද
ගති වියමනක්ච - න්ද්‍රා ජයතුංග
මාගම් සෝලිය - සුමිත් නානායක්කාර
බුද්ධදාසි - සුනේත්‍රා රාජකරුණානායක
කළු දෝංකාරය - කරුණාදාස සූරියආරච්චි
දුටිමි නෙතිත් කසුප් නිරින්ද - රයානි ඒකනායක
කළු - තාරකා වාසලමුදලිආරච්චි
වලා යටින් මිහිමඬලට - මහින්ද රත්නායක
දෙදහස් විසිහයේ මහල්ලා - උපාලි උබයසේකර
ස්වාජනා - තිලක් ජයරත්න
අපේ රාලලාගේ දේශය - සෝමවීර සේනානායක
පරමානන්දය - සරත් විජේසූරිය
භවාන්තරය - ටෙනිසන් පෙරේරා
රෝසමාලි  - ශමෙල් ජයකොඩි


2011 රාජ්‍ය සාහිත්‍ය  සම්මානිත පොත්

හොඳම නවකතා ජයතිලක කම්මැල්ලවීර - චුම්බන කන්ද, සුනේත‍්‍රා රාජකරුණානායක - කවිකඳුර
හොඳම ස්වතන්ත‍්‍ර කෙටි කතා සංග‍්‍රහය  - සිරදඬුවම - අභයවංශ දේවප‍්‍රිය
හොඳම කාව්‍ය සංග‍්‍රහය  - හිරුත් හිම පියල්ලක  - මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල
හොඳම සිංහල ළමා සාහිත්‍ය කෘතිය - පරණ තොප්පිය -  - පියල් උදය සමරවීර
හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය- සේමියානු කාන්තාව- මහාචාර්ය මර්ලින් පීරිස්
හොඳම පරිවර්තිත කෙටි කතා සංග‍්‍රහය-මුතු ඇටය - චන්දන මෙන්ඩිස්
හොඳම පරිවර්තන නවකතාව- අභිරහස්  - ආනන්ද අමරසිරි
හොඳම පරිවර්තිත ශ‍්‍රාස්ත‍්‍රිය කෘතිය-සත්ව සහ ශාක විහේෂයන්ගේ සම්භවය-පසන් කොඩිකාර
හොඳම ස්වතන්ත‍්‍ර ශාස්ත‍්‍රීය කෘතිය-සීගිරිය-මහාචාර්ය සිරිගුණසිංහ
හොඳම යොවුන් නව කතාව-එයා හරි අපූරු ළමයෙක්පි - යදාස වැලිකන්න
හොඳම ස්වතන්ත‍්‍ර නාට්‍ය ග‍්‍රන්ථය-ජගන්මා-කේ.බී. හේරත්
හොඳම ළමා සාහිත්‍ය කෘතිය (ඉංග‍්‍රීසි) ද ඩියෝබියන්ඩි ප‍්‍රින්ස්-සිබිල් වෙත්තසිංහ

2011 ස්වර්ණ පුස්තක  සම්මානිත සහ  නිර්දේශිත නවකතා

සක්කාරං -  චම්මින්ද වෙලගෙදර
කවිකඳුර - සුනේත්‍රා රාජකරුණානායක
චුම්බන කන්ද – ජයතිලක කම්මැල්ලවීර
සමාරෝපණය – චන්ද්‍රසිරි පල්ලියගුරු
දඟර තරප්පුව - සුනන්ද මහේන්ද්‍ර
ලලිත සමය – එරික් ඉලයප්ආරච්චි
රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා – පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි
කළුවරයි පුරහඳ – අනුරසිරි හෙට්ටිගේ
බාබ්ලි – දයා දිසානායක
මිථ්‍යාදෘෂ්ටිකයා – උපාලි උබයසේකර
පියාපත් ලද දෝණි - ශමෙල් ජයකොඩි
ගිරග සසල විය – දර්ශනා ශම්මි විජේතිලක


2012 රාජ්‍ය සාහිත්‍ය  සම්මානිත පොත්

හොඳම නවකතාව - නයිගලින් උපන් පුත්‍රයෝ - බටුවංගල රාහුල හිමි
හොඳම කෙටිකතා සංග්‍රහය - සිංහබාහු එනකන් - අනුරසිරි හෙට්‌ටිගේ
හොඳම කාව්‍ය සංග්‍රහය - ඇහැළ ඇමතුමකට ඇහැරෙමි - මංජුල වෙඩිවර්ධන
හොඳම පරිවර්තන නවකතාව - අසම්මත මිනිසකුගේ සටහන් - ආනන්ද අමරසිරි
හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහය - කන්‍යා සොයුරියකට පෙම් බැඳ - ගුණතිලක මැටියගනේ
හොඳම පරිවර්තන ශාස්‌ත්‍රීය කෘතිය - මගේ දිවි සැරිය  - චූලානන්ද සමරනායක
හොඳම යොවුන් නවකතාව - කොළඹ ළමයි - අනුරසිරි හෙට්‌ටිගේ
හොඳම ළමා සාහිත්‍ය කෘතිය - අහස්‌ගමට ගිය පුංචි සිත්තරා  - තනුජා එන්. අයගමගේ
හොඳම ස්‌වතන්ත්‍ර නාට්‍ය කෘතිය - මාඝාත  - අශෝක හඳගම
හොඳම පරිවර්තන නාට්‍ය කෘතිය  - පුත්‍ර සමාගම - ප්‍රසන්න විතානගේ
හොඳම විද්‍යා ප්‍රබන්ධය - මං නිට්‌ටෑවෙක්‌  - මනෝඡ් ප්‍රසන්න රත්නායක


2013 රාජ්‍ය සාහිත්‍ය  සම්මානිත පොත්

හොඳම සිංහල නවකථාව - සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
හොඳම සිංහල කෙටි කතා සංග්‍රහය - මිත්තණියෝ - පියසීලි විජේමාන්න
හොඳම සිංහල කාව්‍ය සංග්‍රහය
     01. ගිරිහිස තරණය - සුහාර්ෂණී ධර්මරත්න
     02. කන්‍යා දියවරට එළඹ - සුනන්ද කරුණාරත්න

හොඳම සිංහල ගීත සාහිත්‍ය කෘති - නිකිණි වැස්ස - රත්න ශ්‍රී විජේසිංහ
හොඳම සිංහල යොවුන් නවකතාව - අලි පෑලැස්ස - දිනේෂ් ගුණතිලක සමරවික්‍රම
හොඳම සිංහල ළමා සාහිත්‍ය කෘතිය - කිරිහාමි - සිබිල් වෙත්තසිංහ
හොඳම සිංහල ස්වතන්ත්‍ර විවිධ විෂය(ශාස්ත්‍රීය) කෘතිය - සිංහල ධාතු වංශය - එම්.ඩබ්.විමල් විජේරත්න
හොඳම සිංහල පරිවර්තන නවකතාව - පේද්රෝ පරාමෝ - ධර්මසේන පතිරාජ
හොඳම සිංහල පරිවර්තන කෙටිකතා සංග්‍රහය - වීණා වාදකයා - චන්දන මෙන්ඩිස්
හොඳම සිංහල පරිවර්තන නාට්‍ය කෘතිය - දවස තාම ගෙවුනේ නෑ - එස්.කරුණාරත්න
හොඳම සිංහල පරිවර්තන ශාස්ත්‍රීය කෘතිය - බුදුරදුන්ගේ පියසටහන් - අභය හේවාවසම්


2013 ස්වර්ණ පුස්තක  සම්මානිත සහ  නිර්දේශිත නවකතා

කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග
තැප්පාසේම ගිනි - සමරවීර විජේසිංහ
සෙංකොට්ටං - මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල
කාල සර්ප - කීර්ති වැලිසර
අත අත නෑර - සුමිත‍්‍රා රාහුබද්ධ

2014 රාජ්‍ය සාහිත්‍ය  සම්මානිත පොත්

හොඳම නවකතාව -  කාල නදී ගලා බසී - නෝර්බට් අයගමගේ
හොඳම කෙටි කතා සංග්‍රහය-කියනු මැන දිවි අරුත -ගුණදාස අමරසේකර
හොඳම ගීත සාහිත්‍ය කෘතිය -ඉස්සර විදියට සමග කොපර කොපර පිපිඤ්ඤා-අමරසේන කංකානම්ගේ
හොඳම කාව්‍ය සංග්‍රහය- හැටේ වත්තේ මග්ගලේනා-සෞම්‍ය සඳරුවන් ලියනගේ
හොඳම ළමා සාහිත්‍යය
     පළමු කාණ්ඩය-කල්පනාව නැතිවෙලා - සමරකෝන් පතිරාජ
     දෙවැනි කාණ්ඩය- මුහුද සහ දොණි- තනුජා එම් අයගම
හොඳම විද්‍යා සාහිත්‍ය - මිගුම් සහ තවත් විද්‍යා ප්‍රබන්ධ කතා -ප්‍රේමචන්ද්‍ර රූපසිංහ
වසරේ හොඳම යොවුන් සිංහල සාහිත්‍ය කෘති - සටනක් මැද සටනක් -ගුණසේකර ගුණසෝම
පරිවර්තන -නාට්‍යය- හැමෝටම වැරැදිලා - බන්දුල විතානගේ
හොඳම පරිවර්තන-  පද්‍ය - රතු රෝස නිල් රෝස - පරාක්‍රම කොඩිතුවක්කු
හොඳම  නව කතාව පරිවර්තන
    සිංහල - ශ්‍රීමතී -ආනන්ද අමරසිරි
    ඉංග්‍රීසි- කලියුගය - රංග වික්‍රමසිංහ
හොඳම විශේෂ කෘති - ලංකාවේ ගැමි ජනකතා - චන්ද්‍ර ශ්‍රී රණසිංහ


2014 ස්වර්ණ පුස්තක  සම්මානිත සහ  නිර්දේශිත නවකතා

කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති
තාරා මගේ දෙව්දුව - නිශ්ශංක විජේමාන්න
මරියා සිලෝනිකා වස්තුව - පී.බී.ජයසේකර
කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ
පාද යාත්‍රා - එරික් ඉලයප්ආරච්චි
සෞම්‍යා ‍ලෝකය - සුනේත්‍රා රාජකරුණානායක
ලොවීනා - මොහාන් රාජ් මඩවල
මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන
ප්‍රින්ස්ජ - යතිලක කම්මැල්ලවීරගේ
දණ්ඩ භූමි - ටෙනිසන් පෙරේරාගේ

2015 රාජ්‍ය සාහිත්‍ය  සම්මානිත සහ  නිර්දේශිත පොත්


විවිධ විෂයක කෘති
     දේශීය සිනමා වංශය - ගාමිණී වේරගම
     මහතලා ජනවහර - කේ.බී.මානෑව
     බලය සහ බලය - චම්පික රණවක
     යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කට් - බන්දුපාල ගුරුගේ

ළමා සාහිත්‍ය කෘති I
     හුළං අරන් ගිය අත්තටුව - ජානකී සූරියආරච්චි
     උගුල - අරීසෙන් අහුබුදු
     රන් රාළගේ යාළුවා - සිබිල් වෙත්තසිංහ


ළමා සාහිත්‍ය කෘති I I
     විකුම්ගේ ලෝකය - ජනකී සූරියආරච්චි
     පොල්පිති හරකා - රත්න ශ්‍රී විජේසිංහ
     සඳමලීට යාළුවෙක් - මැණිකේ නවරත්න


පරිවර්තන නවකතා
     නොසන්සිඳි මාවත - කුමාර පෙරේරා
     මේ මිනිසෙකු නම් - ගාමිණී වියන්ගොඩ
     යශෝධරා - ආනන්ද අමරසිරි


පරිවර්තන කෙටිකතා
     ඉන්දියානු ආදර කතා - ජයතිලක කම්මැල්ලවීර
     ආදර කැදැල්ල - චන්දන මෙන්ඩිස්
     වීරයෙකුගේ පාපෝච්චාරණය - ඩිල්මා කුමාරි කොග්ගලගේ
     ආශ්‍රමය සහ තවත් ඉන්දියානු කෙටිකතා - බොබී ජී. බොතේජු


පරිවර්තන පද්‍ය
     වැලි සහ පෙණ - මණ්ඩාවල පඤ්ඤාවංශ හිමි
     සුසුම් සුළං වේ සුළඟටම මුසුවෙනා - ඉන්ද්‍රානි රත්නසේකර
     මධුශාලා - ආනන්ද අමරසිරි

පරිවර්තන නාට්‍ය
    අසිනමාලි - පූජිත ද මෙල් / නදී කම්මැල්ලවීර
    ඔතෙලෝ - ටෝනි රණසිංහ
    අන්ධකාරයට ගමනක් - සුනේත්‍රා කංකානම්ගේ


පරිවර්තන විවිධ විෂය -  ශාස්ත්‍රීය හා පර්යේෂණ
    රළ - මාලනී ගෝවින්නගේ
    මට මතක ගම - පද්මා ගුණසේකර
    අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය - උදිත අලහකෝන්

2015 ස්වර්ණ පුස්තක  සම්මානිත සහ  නිර්දේශිත නවකතා

රන් කරඬුව - පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි විසින් රචිත
බණ්ඩර මැරූ උන්සේ - සේන තෝරදෙණිය ලියූ
මහාසාමි - සේපාලි මායාදුන්නේ ලියූ
බැඳමාරිය - අනුරසිරි හෙට්ටිගේ ලියූ
තුරු සමුදා - සුමිත්‍රා රාහුබද්ධ ලියූ


2016 රාජ්‍ය සාහිත්‍ය  සම්මානිත සහ  නිර්දේශිත පොත්

ස්වතන්ත්‍ර කෙටිකතා
ගම්මිරිස්                                              කාංචනා අමිලානි
කූඹියා නම් ඩොලැක්ක වාදකයා                   කමල් පෙරේරා
දුකින් තැවෙන දන                                 පී.බී.ජයසේකර
හිරු සදිසි පියවරු                                   වසන්තා නිල්මිණි ඉලේසිංහ
අහසයි පොළොවයි                                 අබේවංස දේවප්‍රිය
දිමියා                                                අනුරසිරි හෙට්ටිගේ
පෙම් සිහින                                         රන්ජිත් ධර්මකීර්ති
සීරුවෙන් ආපස්සට                               කරුණා පෙරේරා
මෝනාලිසාට රැවුලක්                             එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිමාවක් සංක්‍රමණිකයෙක් සහ දරුවෙක්       ලක්ෂ්මන් කොඩිතුවක්කු

ස්වතන්ත්‍ර ගීත සංග්‍රහ කෘති

සිංහලයකු වී ඉපදීමෙන්                                    මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඊළඟ වස්සානේ                                            යමුනා මාලනී පෙරේරා
මල් මාවතේ                                               කුමාරදාස සපුතන්ත්‍රී

ස්වතන්ත්‍ර නවකතා

පාටක් නැති පාටක්                               කරුණා පෙරේරා
දූල්වල අලංකාරය                                 සුමුදු නිරාගී සෙනවිරත්න
අසන්ධිමිත්තා                                       සමන් වික්‍රමාරච්චි
වලාකුළු බැම්ම                                     චන්ද්‍රරත්න බණ්ඩාර
පරදේසි                                             එරික් ඉලයප්ආරච්චි
සැප්තැම්බරයේ දිග දවසක්                       කපිල කුමාර කාලිංග
අහම්බකාරක                                      ලියනගේ අමරකීර්ති
හිතුවක්කාරි                                        එච්.බී.ගුණරත්න
අවලමා සහ ඇහැටුව                             පී.බී.ජයසේකර

ස්වතන්ත්‍ර පද්‍ය කෘති

නැති වුණු දෙවිවරු                                            එරික් ඉලයප්ආරච්චි
නැණසිලුමිණ නම් උමන්දානන්දය                           දර්ශන රත්නායක
නිහඩව ගලන මේ ගඟ                                        වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
මම ද ප්‍රේමවන්තයෙක්මි                                      විරාජ් කරුණානන්ද
සුදු වත ඇදි කෙකිනිය                                         සුහර්ෂණී ධර්මරත්න
සිහින සක්මන                                                  ධම්මික බණ්ඩාර
කාව්‍ය රූපාවාලිය                                             විපුලි නිරෝෂිණී
එලඹෙන අගෝස්තුව                                         අජිත් තිලකසේන
සඳගිර පාමුල                                                  රත්න ශ්‍රී විජේසිංහ
තීර්ථය අසබඩ                                                 බුද්ධදාස ගලප්පත්ති
රැය විදිමි ; නොවිදිමි                                         ධනුෂ්ක එදිරිවීර බණ්ඩාර
එහෙටත් වහින වැහි                                          සඳුන් ප්‍රියංකර විතානගේ

පරිවර්තන කෙටිකතා
දුම්රිය සංඥාව                                                  එප්පාවල දිනුක මදුෂාන්
කැදැලි බිදී ගිය පසු                                            උපාලි ලීලාරත්න
වියරු ආදරය                                                   උපාලි කන්නන්ගර
මුදු හද ඇති ළඳ                                                චන්දන මෙන්ඩිස්
අවසන් නොවූ කතාබහක්                                    මොහාන් ශ්‍රියන්ත ආරියවංශ
දුරාචාරය                                                      සමරසිංහ ගුණසේකර
විරාගිනීන් ගේ සැබෑ කතා සහ චෙකොව් ගේ කෙටිකතා           ඩබ්.එස්.බණ්ඩාර

පරිවර්තන නවකතා

එමා                                                      ජී.ඒ.නාලිනි
ඉස්කෝලෙ මහත්තයා                                 මහා. උපුල් රංජිත් හේවාවිතානගමගේ
සෙනෙහසේ දෝංකාරය                               අසෝකා ඇම්.හේරත්
කඳුකරය දෝංකාර දුනි                                ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද
හිරු නැඟෙන රටේ පෙම් පුවතක්                     සිරිල් චන්ද්‍රෙස්කර ගුණවර්ධන
හඩන්න ප්‍රියාදර මාතෘ භූමී                             රාණිසේනාරත්න රාජපක්ෂ
ඉසිවර වෙදමැදුර                                       ගුණතිලක මැටියගනේ
මංසලේ සොඳුරිය                                      ඊ.දයානන්ද සිල්වා
මම ඔබ සොයමි                                       සුමිත්‍රා රාහුබද්ධ
චයිනමන්                                              දිලීප අබේසේකර

පරිවර්තන නාට්‍ය කෘති

ගෝඩ්සේ@ගාන්ධීගකොම්                                 මහා.උපුල් රංජිත් හේවාවිතානගමගේ
ස්වප්නවාසවදත්තා                                          වෝල්ටර් මාරසිංහ
ජනතාද්‍රෝහියා                                              විජිත ගුණරත්න
කුරිරු අඳුර                                                  සමන් පුෂ්ප ලියනගේ
මධු සාදය                                                  මර්ලින් පීරිස්
එව බලව                                                   ඊ.එම්.ඩී උපාලි

පරිවර්තන විවිධ / පරිවර්තන ශාස්ත්‍රීය හා පර්යේෂණ

සිංහල සමාජයේ කුල ක්‍රමය                              චන්ද්‍ර ශ්‍රී රණසිංහ
ෂැංහයිහි ජීවිතය සහ මරණය                             භද්‍රජි මහනිද ජයතිලක
අමිල මුතු ඇටය                                           විමලසේන විතානපතිරණ
දශභූමික සුත්‍රය                                            පුජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමි
කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය             සී. ගැස්ටින් පෙරේරා
ජීවක ජීවන චාරිකා                                      ඩී.එස්. දයාරත්න

ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘති

මේ නිවාඩු කාලයයි                                           සෝමරත්න වෛද්‍යරත්න
රන් වැල්ලේ ආශ්චර්යය                                     අනුර පද්මසිරි දිසානායක
දං හිඹුටු අලි සහ පුංචි ළමයි                                 ඒ.බී.ජේ. අත්තනායක
බංගලා වත්ත ධවල                                          සක්විති තිරනාගම
අකලට ආ ඉස්කෝලේ                                      ගුණසේකර ගුණසෝම
සැඟවුනු ලෝකය                                           ආරියනන්ද දොඹවත්ත
සුව සෙවණට ගිය යසසී                                    හේමා චන්ද්‍රිකා ලියනගේ

විවිධ විෂයක ග්‍රන්ථ (විද්‍යාව,සමාජ විද්‍යා විමර්ශන )

අධිකරණ විද්‍යව හා අපරාධ විමර්ශන                 ආචාර්ය ම.ආ.ජ. මැන්දිස්
බුදුසමය සහ අපරාධ විද්‍යාව                            පාතේගම ඤාණිස්සර හිමි

විවිධ විෂයක ග්‍රන්ථ (කලා ශිල්ප අධ්‍යයන)

චෙකොෆ් නාටක අනන්‍යකරණය                      ආරියරත්න විතාන
අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ                නුවන් නයනජිත් කුමාර
ශ්‍රී ලාංකේය විකල්ප නාට්‍ය කලාවේ ප්‍රවණතා        මංගල සේනානායක
ලාංකේය සිනමාවේ සුසමාදර්ශ මාරුව                 හිනිදුම සුනිල් සෙනෙවි
සුනිල් සාන්ත                                            සුනිල් ආරියරත්න

විවිධ විෂයක ග්‍රන්ථ (මානව ශාස්ත්‍ර අධ්‍යයනය )

බෞද්ධ දර්ශනය තුලින් සදාචාර අධ්‍යාපන ප්‍රවර්ධනය               සිල්වි සේනාධීර/එන්.ටී.එස්.ඒ. සෙනාධීර
ප්‍රත්‍යවේක්ෂණ ලිපි                                                       මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
අනගාරික ධර්මපාලතුමාගේ  සමාජ මෙහෙවර                        සේපාල මායාදුන්නේ
බුදුවරු සහ බෝසත්වරු                                                මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන
අප්‍රිකාව                                                                   මහාචාර්ය දයානන්ද සෝමසුන්දර
ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය                                          ඩී.එල්. අබේවර්ධන

ශාස්ත්‍රීය හා පර්යේෂණ

ප්‍රත්‍යක්ෂය සහ විශ්වාසය                                                එම්.එම්.ජේ.මාරසිංහ
දකුණු ඉන්දියාවේ ථේරවාදී බුදුදහමේ ව්‍යාප්තිය                       ආචාර්ය පුජ්‍ය හිඳගල ඤණාධාර හිමි
බුද්ධිවාදී චින්තනය                                                       පූජ්‍ය නාඔටුන්නේ විමලඤාණ හිමි
මෛත්‍රී බුද්ධ සංකල්පය                                                 ජේ.ටී. කරුණාරත්න
මුවදෙව්දාවත                                                               සිරි තිලකසිරි
පැරණි ශ්‍රී ලාංකේය සමාජය ජ්‍යෙෂ්ඨ                            මහචාර්ය මහින්ද සෝමතිලක
පාලිමුක්තනයවිනිච්ජයසංග්‍රහ                                     පූජ්‍ය මඩිහේ සුගත හිමි

ස්වතන්ත්‍ර නාට්‍ය කෘති

හිනාවෙලා මිනිත්තුවක්                                       අඛිල සපුමල්
මට එරෙහිව මම                                              පියල් කාරියවසම්
ගමේ රාළහාමි                                                 රෝහණ බැද්දගේ

ළමා සාහිත්‍ය – 1 කොටස

ඉර එළිය                                              තනුජා එන්.අයගම
බෝනික්කාගේ යාලුවෝ                            චම්මි ඉරේෂා
බිංදු දමින්ද්‍රී                                           කෞශල්‍යා කොළඹගේ
කමල්ගේ හපන්කම්                                පී.ජයතිලක
ඈත මෑත                                            අරුණ කීර්ති ගමගේ
තේක්ක නැන්දා                                    ප්‍රීති රන්දෙනිය
ශෛලී ප්‍රාර්ථනා                                   සම්මානි විජේසිංහ
සපත්තු කඩේ                                      පාලිත ලොකුපෝතාගම
ඈත මෑත                                          අරුණ මාමා

ළමා සාහිත්‍ය – 11 කොටස

සඳමාලි සහ පුංචි ගිරා පැටියා                     චන්ද්‍රසේන කොඩිතුවක්කු
සපත්තු සීයා                                        සුනීතා විජේතුංග
පුංචිත්තා                                            නිශානි එරන්දිකා වික්‍රමආරච්චි
සුමුදුමලී                                            චන්ද්‍රිකා අඹේපිටිය
කණාමැදිරි සිත්තරා                               සන්ධ්‍යා කහඳගමගේ
පායන්න ඉඩ දෙන්න                             රසිකා නිරංජලා දිසානායක
පුංචි යහළුවෝ                                     ජේ.ඒ.කුමාරි නේරංජනා
සුවඳ හමන මල්යායක                            මැණිකේ නවරත්න
අපූරු මැණික සහ සීගිරිය                        ප්‍රියංකා සපරමාදු
විහාරමහ දේවිය                                  පද්මිණී පෙරේරා


2016 ස්වර්ණ පුස්තක  සම්මානිත සහ  නිර්දේශිත නවකතා

අහම්බකාරක – ලියනගේ අමරකීර්ති
මාණික්කාවත – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
කොළඹයා සහ ෂැන්හයියා – සුනේත්‍රා රාජකරුණානායක
පරදේසි – එරික් ඉලයප්ආරච්චි
දුල්වල අලංකාරේ  – සුමුදු නිරාගී සෙනෙවිරත්න

Sunday, August 28, 2016

ගමනක් යමු....

ජීවිතය :- මෙච්චර කලියෙන්?

මරණය :- ඇයි ලෑස්ති නැතිද තවම?

ජීවිතය :- මම හිතුවේ තව පරක්කු වේවි කියල

මරණය :- කලින් ආව

ජීවිතය :- මට ඩිංගක් වෙලා දෙන්න
              ගෙදර කට්ටියට කියන්න

මරණය :- මොනව කියන්නද ඔච්චර
                මීට කලින් නොගිය වගේ

ජීවිතය :- ඒ උනාට
              නොකිය ගියොත් දුක හිතාවි

මරණය :- කලින් කිව්වෙ නැද්ද ඉතින්?
                දන්නව නෙව යනව කියල

ජීවිතය :- දිනයක් කිව්වේ නැහැ මම
               යන්න වේවි කියල කිව්ව

මරණය :- හා එහෙනම් කියල එමුකො
                එන්න නොයන ගමනක් යැයි

ජීවිතය :- ආයෙ ඉතින් කවද කොහොම
               හම්බවෙයිද කව්ද දන්නෙ

මරණය :- කට්ටිය නම් ඕන තරම්
                මඟදි හම්බවේවි හුඟක්

ජීවිතය :- දූට කියල එන්නම් මම
               මහත්තයට දුව කියාවි

මරණය :- කෑම මුලක් වතුර එහෙම
                සූදානම් කරල ඇතිනෙ?

ජීවිතය :- යායුතු බව දන්න නිසා
               ඒ දේවල් හදල තිබ්බ

මරණය :- ඒක හොඳයි... හුඟ දෙනාට
                මඟදි තමයි මතක් වෙන්නෙ
                අත් දෙක හිස් නේද කියල

Tuesday, August 23, 2016

සිතුවිලි

තනි වූ හිතක් සැර මීවිතක්
බොඳ වුනු මතක යලි කැන්දනා
නැති හිමිකමක් බිඳි පෙම් දමක්
යලි යලිත් හදවත පාරනා
මා දන්නෙ නෑ තේරෙන්නෙ නෑ
සිත නුඹ ම විමසන කාරනා
දුක දරන මතකම තෝරනා

ප්‍රේමයේ වස්සානය ගෙවී
එලැඹිලා ගිම්හානේ
වියොවේ සරතැසින් වෙහෙසයි
බිඳුනු සන්තානේ
ස්නේහයේ මිරිඟුව තවත්
ලුහුනොබැඳ සංසාරේ
කාලයයි සිත පිලිගන්න දැන්
මියගියැයි පෙම් සිහිනේ....

Monday, August 22, 2016

අම්මා

දරුවෙකු සමඟ අඟනක් වීදියක කොනේ
පාමින් පුතුව ඇය මුදලක් සිඟනු පෙනේ
රැකියාවක් කලහැකි බව හොඳින් දැනේ
මවු සෙනෙහසද මන්දා ඒ අලෙවි වුනේ

කුඹුරු කාලේ කුලියක් මලියක් කෙරුවා
තුනටිය රිදෙන තුරු වත්තේ දළු නෙලුවා
ඉරිදා පොලේ කීර තම්පලා එලුවා
සිහිවී නුඹව මගෙ නෙත කඳුලැලි සැලුවා

අප්පා නැති පැලේ ලිප ගිනි මොලවන්න
කරුමෙට දැනෙන සාගින්දර නිමවන්න
සිප් නැණ සයුරෙ අප හැමටම කිමිදෙන්න
නුඹ විඳි ගැහැට වචනෙන් බැහැ පවසන්න

නුඹ අද නැතත් මේ කතාව අහන්නට
සිහිනෙන් පෙනෙනවා අම්මේ විටින් විට
මතු බුදු වෙන්න කලියෙන් එක වරක් මට
ඔබෙ ලේ කිරි සුවඳ දෙනවද ඉඹින්නට


Sunday, August 21, 2016

ලියමන

හිතේ තනියට පාලුවට පොඩි නිවාඩුවකට යන්න කියලා
ලැබුනාම මාසෙම මහන්සිය එනව මැණිකේ නුඹව සොයලා

සින්න වෙන්නට කලින් බේරා ගන්න උගසට තියපුවා
මතක් වෙනවා පුංචි දූ ගෙන එන්න කියලා කියපුවා

අම්මගේ බේතුත් අහවරයි මතක හැටියට මගෙ හිතේ
කඩේ මුදලාලිටත් බේරන්නට ඕනි ගානට සතේ

පුතා ඉල්ලපු වයින් කාර් එක මේ සැරේ මම අරන් එන්නම්
උඹට ලස්සන ගවුම් රෙද්දක් අනිත් පඩියට ගෙනත් දෙන්නම්

රූල් කොලයක් පිරෙන්නට තියනවා වියදම් අඩු නැතී
බෝඩිමේ ගානත් ගෙවන්නට ඕනි මාසෙක හිඟ ඇතී

සුමනෙ ගෙන් ගිය මාසේ ඉල්ලා ගත්තු දාහක් තියනවා
එක්කො මට මේ සැරේ නෑවිත් ඉන්න කියලා හිතෙනවා

අජිය නම් ගම් යනව කිව්වා මේ මාසෙ පඩි පහුවෙලා
උගෙ අතේ එවතැහැකි වියදම්, ඇයි නුඹේ නෙත් තෙත් වෙලා

මමත් හිතකින් නෙමේ නෑවිත් ඉන්න හිතුවේ මේ සැරේ
ගමන් වියදම එකතු කරගෙන එනවමයි ඊලඟ සැරේ

Sunday, August 14, 2016

මයෙ පුතේ

පෝය දෙකයි තව ඇත්තේ අමාවකට හිතේ උඹ ගියාම කොහොමද හිත හදා ගන්නෙ පුතේ මංගල සාරිය දැක්කම හැඩවෙන නුඹෙ ගතේ සාරියෙ මුතු බොඳවී ගෙන නැගුන කඳුලු නෙතේ බන ඇහුවට අඩු කරන්න තන්හාවන් සිතේ ලෝබයි මට උඹව දෙන්න වෙන කෙනෙකුට මෙතේ ලේ කිරිකර පෙව් හැටි මට මතක් වෙනව ගතේ වරින් වරේ මා බලන්න එනව නේද පුතේ අයියා රෑ වී එනකම් අපි ඇහැරන් ඉන්නවා ආවම දෙන්නම එක්කහු වී කොල්ලට බනිනවා පෙන්නුවෙ නැති උනාට උගෙ හිත හරියට හඬනවා අයියට උඹ නංගියෙක්ට වඩා ගොඩක් වටිනවා තාත්ත නැති අඩුව උඹට දැනෙනව ඇති හිතේ මටත් එහෙමමයි පෙන්නුවෙ නැති උනාට පුතේ පුංචි එකෙක් තුරුලු කරන් වරෙන් හනික අතේ සංසාරේ නිවනට තව දුරයි මයේ හිතේ

Friday, August 12, 2016

කුරුල්ලෝ


අපේ පාලම

අතීතයෙ ඒ දවස
මුනගැහුනු අපි සවස
අපේ පාලම උඩට
ගියා ඊයේ සවස

මාව හඳුනාගත්තු
ගඟේ රැලි අහනවා
නුඹ කොහිද නුඹ කොහිද....

නෑහුනා වගේ මම
හිනැහුනා ගඟ දියට

"කෝ ඉතින් ඔහොම මදි
තව හොඳට කට පුරා
ඉර බහින අර පැත්ත
බලාගෙන හිනැහෙන්න"

මල් කලඹ වම් අතට
සාරි පොට හුලඟකට
පාවෙලා යන්න දී
හැරුන මා.. ඉර දෙසට

ඉර පුදුම වූ ලෙසින්
මා වෙතට ලං වෙලා
"ඔබේ සෙවනැල්ල නැහැ
එය කොහෙද හැංගිලා"

කොහොම මම හිනැහෙමිද
නුඹේ හඬ ඇහෙනවා
හමා යන මද නලේ
ගලා යන ජල කඳේ

"ඔයා තව ලං වෙන්න
ඈව ලං කරගන්න
ඉන වටා අත යවා,
ඈ...
ඔබේ බව පෙන්වන්න"

"අන්න හරි...දැන් හොඳට
හිනැහෙන්න...."

හිනැහුනා මම ඉතින්
ගං දියට
මද නලට...

දුනිමි අරගෙන යන්න..
ප්‍රේමයේ අවසාන සිනා පොද

රත්තරන් පැහැ ඉරට....

Wednesday, July 27, 2016

විවාහකයාගේ පෙම්වතිය

ලොවම ගරහන
සිතින් විඳවන
අසම්මතයක
පංගුකාරිය.....

මෙරක්‌ පරදන
පෙමක්‌ උපදන
නොකිව් කවියක
අයිතිකාරිය.....

සුනීතා එම් කොස්වත්ත - ඉපනැලි කාව්‍ය සංග්‍රහය

Tuesday, July 26, 2016

වලසා සහ මිතුරන් දෙදෙනාගේ කතාව - New Version

අප කුඩා කාලයේ වලසා ගැන අසා ඇත්තේ කැලේ ගිය මිතුරන් දෙදෙනාගේ කතාවෙන්. එහි ගහට නැඟ ගන්නට නොහැකි වූ මිතුරා මැරුණා සේ සිටි විට වලසා ඉව කර රහසක් ද කියා ගියා යැයි කියැවෙනවා. රහස තමයි විපතේ දී එකට සිටින මිතුරා අතහැර දුවන නුඹ වැනි මිතුරන්ගෙන් ප්‍රවේසම් වන ලෙසයි යනුවෙන්.

ඉහත කතාවෙන් කියවෙන කරදරයක දී තමන් ගේ මිතුරන් අතහැරදා තමන්ගේ ආරක්ෂාව යහපත පමණක් සිතීම නොකල යුතුය යන ආදර්ශ පාඨය අදට උනත් කොච්චර වටිනවද.

මිතුරන් නම්,

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී

එක්ව වැඩ කිරීම, සාමුහිකත්වය, සහජීවනය, එකිනෙකා කෙරෙහි වන ආදරය සහ වර්තමානයේ ඉතා වැදගත් ලෙස සලකන කණ්ඩායම් හැඟීම ආදී සියල්ලක්ම වැදගත් කම ඉහත කතාවේදී අපට කියා දෙනවා නොවේද?

නමුත් මෙම කතාවේම අවසානය වෙනස් කරන ලද මුද්‍රණයක් සිංහල 2 පොතේ ඇතුලත් කරලා තියෙනවා. කතාවේ ආරම්භය එකමයි. අවසානයේ බිම නිදිය ගත්ත යාලුවා අනෙකාට පවසන්නේ "කල්පනාවෙන් වැඩ කල නිසා අපි දෙදෙනාම වලසාගෙන් බේරුනා නේද?" කියායි.

මුල් කතාවේ ඉදිරිපත් කරන පණිවුඩය වෙනස් කරන්නට ඇති අවශ්‍ය තාවය පැහැදිලි නැතිවා මෙන්ම මෙයින් කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් ම සපයා ගත යුතුය කියාද?

අද සමාජයේ බොහෝ දරුවන්ට අනුනට උපකාර කිරීම වෙනුවට තනිව ජීවත් වීමට, තනිව තම තමන් ගේ අවශ්‍යතා සපුරා ගැනීමට උනන්දු කරවීම එතරම් යහපත් දැ‍යි නොදැනේ.  

සැ.යු - වලසුන් මලකුණු ආහාරයට ගනු ලැබේ.

සිංහල 2 පොතේ කදිම උපාය පාඩම - http://www.edupub.gov.lk/Administrator/Sinhala/2/2/Chp%205.pdf

ආශ්‍රිත ග්‍රන්ථ - සහෘද සටහන් 2

Friday, July 15, 2016

නොරිකෝ....

මටවත් මාව තෙරුම් ගත නොහැකි කොට
ඔබ මා කෙසේ නම් තේරුම් ගන්නේ
මලවුන්ගේ අවුරුදු දා නොවෙද හෙට
මා ඔබ දකින්නට නිසැකව එන්නේ

නුඹ මගෙ ජීවිතය ජීවත් කරවන්නේ
කෙලෙස ද නුඹ නැතිව දෙපයින් සිටගන්නේ
නොදනිමි දිවිය කොයි දෙසටද ඇදෙන්නේ
එනයින් කෙලෙස මම නුඹ ලඟ නවතින්නේ

ඔබගේ දිවිය මා සමඟින් දියවෙද්දී
රූසපු යොවුන් විය හෙමිහිට මැකෙද්දී
මමවත් නොදන්නා දිවියක් ඉල්ලද්දී
නිහඬව සිටිමි මගෙ හදවත මොර දෙද්දී

නැත කිසි වැරැද්දක් ඔබගෙන් සිදුවූයේ
ඔබමයි මා නිසා අවසන තනිවූයේ
එනමුත් ඔබේ සෙනෙහස නැත අඩුවූයේ
ඔබ වැනි ගැහැණියක් වෙන නැත හමුවූයේ

උද්‍යානයේ සකුරා මල් පිපෙනවද
උණුහුම කෝපි උගුරක් සිත දවනවද
මා නැති අඩුව හැම මොහොතෙම දැනෙනවද
අමතක නොකර මා හෙට මුනගැසෙනවද


Tuesday, July 5, 2016

නිලා වේවා... සෙල්ලා වේවා...

හරිම ලස්සන දමිළ ගීතයක් ගැන දැනගන්නට ලැබුනා. සිංහල උනත් දමිළ උනත් ඉංග්‍රීසි උනත් ගීතය ගීතයම තමයි. හැකි විදිහට මේ ලස්සන ගීතයේ අරුත සිංහලට නැගුවා.

නොයා හැරදා මෙමා..
මගේ සඳ වී එන්න..
ඔබව හිමි නිල් අහස..
මා නොවෙද හැමදාම...

දුරින් ඉන්නට ඈත්වී
සිතුව මුත් ඔබ මගෙන්
කෙසේ අමතක කරමි මා
මතකයන් ඔබ මගේ

ඔබව තේරුම් ගන්න
නොහැකි ඇයි මේ තරම්
කාවේරි නදිය මෙන්
දකින මිරිඟුව ලෙසින්
අනේ මට පවසන්න
ඇත්තටම නුඹ කවුද

මල් ගසේ කටු තුඩුද
කටු ගසක පිපි මලද
මඟ නොහැර පවසන්න
ඇත්තටම ඔබ කවුද

මල් උයන් සිසාරා
ගී ගයන මද නලට
ගයන්නට එපා‍යැයි 
කියන්නේ මොන මලද

මේතරම් වැලපුනද 
එකවරක් වත් මදෙස
නොබලන්න තරම් වූ
ප්‍රියේ හේතුව කිමද

එකම එක වචනයක් 
නොහැකි ඇයි පවසන්න
වළාකුළු කිසිදාක 
බරක් වෙද ගගනතට 



Friday, July 1, 2016

රැයෙහි උපන් සිතිවිලි

අහා....
ගගනත පුරා සඳ වැතිරී
රුවල් නගා යයි පාවී
වැලඳ ඇගේ ඉරණම
හිනැහෙමින් තුටින්...

සැඟවෙමින් බොහොම විට
පුහුදුන් ඇසින්
නිවා වත මදහස
මන්දාලෝක වෙමින්...

වළාකුලු ඉරී වෙන්වී
පියාඹන විටම
බලන් ඇගේ ආත්මය
පිපී ගගනත දුලින්...

Saturday, June 11, 2016

අතීත මායා

අතීතයෙහිද නොවීමී මා විලාසිනියක
ඔබ සිතූ ලෙස
ඔවුන් හට මා වරඟනක් ලෙස පෙනුනිදැයි නම්
නොදනිමී මම
ලෙසින් හාරිත සැකෙන් මත් වූ
සාමාවන් ගේ අතීතය ගැන
ඔබත් මා හැරගියේ එලෙසින්
නොවැටහී මා පිදූ සෙනෙහස

Thursday, June 9, 2016

යලිත් වසන්තය

හිරු පිපී මල් මත
මද නළ සුවඳ දස අත
කුරුළු ගී සවනත
වසන්තය ගෙනැවිල්ල සිත වෙත

පොඩි පැලය කඩුපුල්
පිපී ලා අද සුදු මල්
පුර පසට බැඳ ලොල්
බලා උන් හැටි හරිම හුරතල්

හිටි හැටියේම මොහොතක
මුවාකර දිනකර වත
විපරීත කොට තුන්සිත
කළු වලා හිනැහුනා ගගනත

සුපුරුදු සුවඳ අතහැර
සීතල ගතිය එක්කර
පෙති මලින් වෙන්කර
රුදුරු වී හමනවා මදනල

දෙදරවා සිත් අහසම
අළු කර පැතුම් මල් හැම
සඟවා සඳත් රහසෙම
කඳුලු වැහි වහිනවා දවසම

කාලයක් ගෙවුනා
මහ වැසි තුරල් කෙරුනා
නිල් අහස පෙනුනා
හෙමි හෙමින් හිරු ගුවනෙ නැගුනා




පෝරකය

සුදු පාට සාරියක් ඇන්දේ
ඒක පිලිවෙල නිසා වෙන්නැති
එහෙම නැතිනම් ඇගේ දිවියෙත්
පාට සේරම සේදිලා ඇති

ඔහුව දුටුවම පෙර පුරුද්දට
ඇගේ මුවගට සිනා එන්නැති
එහෙම නැතිනම් හිතේ දුක
නෙත් කෙවෙනි බොඳ කර ගලා යන්නැති

කූඩුවට පය තියන මොහොතේ
පෝරුවට නැගි හැටි දැනෙන්නැති
එදා මුදු පැලඳූව ඔහු අද
ඉදිරිපස කූඩුවේ ඉන්නැති

එදා දිවුරූ හැටි මතක් වී
හිතේ විශ්වාසය බිඳෙන්නැති
අදත් මම නුඹගේ පමණමයි
ලෙසින් ඇය දිවුරා කියන්නැති

වසන්තයෙ මල් එකින් එක ඇගෙ
දෙනෙත් අබියස පරව යන්නැති
ඔහු එදා පිදු සෙනෙහෙ නාමෙන්
ඔහුට යන්නට වරම් දෙන්නැති

Wednesday, June 8, 2016

කිවිඳිය

නුඹේ සෙනෙහස නොවන්නට
නොවේ මේ කවි ලියන්නට
සිතේ තනිකම මකන්නට
කියා දුනි කවි ලියන්නට

අයිතිය

හැරයන විටදි පසු පස ලුහුබැඳ එනවා
ලංවෙන විටදි මාගෙන් ඈතට යනවා
මගෙ සෙවනැල්ල මෙන් මා හා ගැවසෙනවා
හිරු නැති දාට සෙවනැල්ලත් හැංගෙනවා

ගහ කොළ වලට නැලවෙන්නට ඇතත් සිතේ
මද නළ නැති දාට ගොලුවී සිටිනු ඇතේ
ලෙංගතු සිනහ සිහිවන මුත් නුඹේ වතේ
සිහිනෙන් වත් නුඹ මට නම් අයිති නැතේ


ඇති නැති

පාන් කෑල්ලකට පොරකන
කපුටු රංචුවක් දෙස
රස මසවුලු බුදිමින්
සීතල අවන්හලේ සිට
හිනැහී බලති ඔවුන්

එක පාන් කෑල්ලක්
මදි නිසා රැලටම
තවත් කෑල්ලක් විසිකර
හිනැහී බලයි ඔහු
උන්ගේ කුසගිනි නිවූ සතුටින්


හිමිකාරිනිය

මේ හැම කවියකම වචන
නුඹට නුහුරු වෙන්නට බැහැ
ඒ හැම සුන්දර සිතුවිලි
නුඹෙ සෙනෙහස් තෙලි තුඩගින්
මා සිත තුල සිත්තම් කල
සිත්තරාවි නුඹ නිසාම

Sunday, June 5, 2016

අ(සරණ)

යලිත් දෙපයින් නැගී සිටිනට
සිතා ගත්විට මෙමා
මගේ සිතුවිලි වාරු කරගෙන
ඔබයි නැගිටුවෙ මා...

Wednesday, May 18, 2016

බලාන ඉන්නම් පෙරමග... එනු සෙනෙහස සතුට අරන්...

සිටියානම් නුඹත් වැස්සේ මගෙත් එක්ක තෙමෙන්න
සීතල හුලඟට දැනෙනා සීතල මග හරින්න
පුංචි කාලෙ වගේ වතුරෙ ඔරු පාකර යවන්න
හිතට දැනෙන මේ සිතුවිලි කවුරුත් නැහැ  කියන්න

නුඹෙ කඳුළු ද මන්දා මේ තෙමන්නෙ මගෙ හිත හොඳටම
නුඹෙ සුසුම් ද මන්දා මේ හමන්නෙ මද නළ සමගම
පුර සඳ ලෙද දුල නුඹෙ වත හංගා ගෙන කලුවරේම
නෙතු තරු කැට යුවල සොයමි ඇහැරී මම රෑ පුරාම

හිරු වී පායන්න බැරිද යලි මා ලොව එලිය කරන්
පරවුනු සෙනෙහසේ කුසුම් පිපෙන්න හද සුවඳ දරන්
කවදා හෝ නුඹ එනතුරු මහදේ දොර කවුළු ඇරන්
බලාන ඉන්නම් පෙරමග එනු සෙනෙහස සතුට අරන්

Saturday, May 14, 2016

මගෙ ලෝකයේ දොරගුලු ලමි නුඹ හට සමු දෙමින්...

පි - නුඹ මට දැනුත් සඳමය දිවි අහස එකලු කරනා..

ගැ - මට නම් දැනෙන්නේ හිරු මෙන් මා සෙනෙහස දවනා..

පි - අපගේ මතක තවමත් මුවගට මදහස නගනා..

ගැ - ඒ හැම මතකයන් මා හට කඳුලකි නෙත රැඳෙනා..


පි - පුලුවනි අපිට එක් වන්නට බැඳි සෙනෙහස නමින්..

ගැ - නැත මට තවත් හද සෙනෙහස ඉපැදෙන නුඹ නමින්..

පි - මගෙ මුලු ලෝකයම සැදුවේ මම නුඹගේ වෙමින්..

ගැ - මගෙ ලෝකයේ දොරගුලු ලමි නුඹ හට සමු දෙමින්..


පි - කෙලෙසද නුඹ නැතිව මිහිරියෙ මා ජීවත් වන්නේ..

ගැ - නුඹ සිටි කාලෙදිත් තනිවී නොවෙදෝ මා උන්නේ..

පි - පුදුමයි නුඹට නැති හැටි මගෙ සෙනෙහස වැටහෙන්නේ..

ගැ - සත්තයි නොමැත නුඹ මට පෙම් කල බව මා දන්නේ..


Saturday, May 7, 2016

තරුවක් වුනේ මම නුඹ සෙනෙහස් අහස..

ඈතයි අපි හුඟක් අපි හිතනවට වඩා..
එනමුත් තවම කල් ඇති දේ ගන්න හදා..
යලි නොකරන්න අපි සිදුකල වැරදි එදා..
එනු මැන එක සිතින් මා වෙත ප්‍රියේ මෙදා..

ඉන්නට තවත් බැහැ මේ තනි කම එක්ක..
නැත කිසි මාවතක් පැහැදිලි මම දැක්ක..
එක විසඳුමක් ඇත මගෙ හදවත රැක්ක..
ඒ නුඹ ගැනයි නුඹෙ සෙනෙහස මා එක්ක..

දිනයක් ගෙවා ගන්නට දරනා වෙහෙස..
පතමින් හැම දිනෙක මධු බඳුනෙහි පහස..
මා මියැදෙන්න පෙර පවසමි මේ රහස..
තරුවක් වුනේ මම, නුඹ සෙනෙහස් අහස..

Tuesday, May 3, 2016

අප අපගේමයි හිතවතී...

වලාකුළක හැංගී සිටි හිමකර හොරෙන් ඉඟි කරයි ම දෙස බලා...
අපේ සබඳකම් දැනිලද මන්දා උණ පඳුරත් ඔච්චම් කලා...
කණාමැදිරි එළි දිලි දිලි නිවෙමින් මගෙ ලඟ තනියට නැවතිලා..
මා පමනක් නොව නුඹත් අවදියෙන් බව මට මදනළ ඉඟි කලා....

මේ තරමට නම් නැහ කවදාවත් මගෙ සිත චංචල වී ප්‍රියේ...
නුඹ නැති පාලුව තරු පිරි අහසක සඳ නැතිවා මෙනි මුලු රැයේ..
පින්කර මදිදෝ මන්දා සසරේ විඳින්න අනන්ත පෙම ඔබේ..
මතු භවයේ නොව ලඟදිම දිනයක පවසනු වෙන බව ඔබ මගේ..

සිතන්න මිහිරියෙ මේ ලෙස දෙතැනක  ඇයි අපි විඳවන්නේ කියා..
පුලුවනි අපහට වෙනස් කරන්නට යලි අපගේ දෛවය ලියා...
කියවා මෙය ඔබ තව එක සුසුමක් පමනක් හෙලමින් නොනැවතී...
කාලය මිතුරුයි තවමත් අප හා අප අපගේමයි හිතවතී...

Monday, May 2, 2016

ඔබයි මමයි...

දුරින් මෙන් දැනෙනවා මෙමටත් ගතින් නම් අප සොඳුරියේ...

ඔබ සිතේ මා හැර කෙනෙක් නැති බවත් මගෙ මතකයෙ තියේ..

අපේ සුන්දර මතක සේරම මෙසේ කවියක පද ලෙසින්...

ලියමි මා නෙත් පියෙන තුරු මම, කියවන්න ඔබ සෙනෙහසින්...


ඔබට හිරු පායන වෙලාවට හිරු අතේ පණිවුඩ තියා...

උදෑසන පිපි මලක පෙති මත හිරු තියයි ඒවා ලියා....

සඳේ සාවිය ලඟට කැන්දා හිතේ ඇති සේරම කියා..

බල ඉන්නම් හැමදාම මම වඩින තුරු සඳ මා සොයා...


නුඹෙ සුසුම් සුවඳත් අරන් මද නල අවුත් මා වට වෙලී...

කියනවා මට හඬන හැටි නුඹ මා මෙන්ම දුක තුල ගිලී...

අනාගතයේ කෙදින හෝ ඔබ ආවොතින් මා වෙත ප්‍රියේ....

කතරකදි කෙම් බිමක් හිමිවූ ලෙසින් සිත සැනසී තියේ... 

Wednesday, January 13, 2016

රෝස කැලයේ ඇවිද යන්නට.. එන්න සුබ නැකතින් ඔයා..


හිමියනේ නුඹ සුවෙන් නොවෙදෝ.. බෝඩිමේ තනිවම රැයේ..
මමත් නිදි නෑ දුවත් තුරුලේ.. පුදුම පාලුයි මේ පැයේ..

බක් මහේ නම් ගෙදර එන්නැයි.. දෝනි කිව්වා කියැන්නැයි..
තෑගි වෙනුවට දූට ඕනෑ.. ඔබේ සෙනෙහස විඳින්නයි..

වැවෙන් මානෙල් මල් කඩාගෙන.. එල්ලිලා නුඹගේ අතේ..
ගමේ පන්සල් යන්න ඕනිලු.. දූට අවුරුදු නොනගතේ..

දේවතා එලි බැලූ හැටි.. මතකයි නුඹේ තුරුලේ වෙලී..
අදත් සඳ නැහැ පායලා නම්.. හාත්පස කලුවර වෙලී..


නැතත් නුඹෙ අත මගේ බඳ වට.. වෙලී සෙනෙහස තෙරපිලා..
ඔබේ උනුහුම ගතේ සුවඳත්.. තියේ පැදුරේ දැවටිලා..

ඉරෙන් ඉල්ලන් පාට ගාගෙන.. ඉරිඟු රන්වන් පැහැ වෙලා..
බඹරු අඹ ගහ එක්ක යාලුයි.. ගහේ අඹ මල් පීදිලා..

පුංචි දෝනිට නලවගන්නට.. පුංචි බෝනික්කෙක් සොයා..
රෝස කැලයේ ඇවිද යන්නට.. එන්න සුබ නැකතින් ඔයා..

Saturday, January 2, 2016

ඔබ....

අලුත් අවුරුද්ද ලැබුවා විතරයි
නුඹ යනවා සිත සතුට අරන්
ඉන්න කියන්නට ආස උනත් හිත
දන්නව රැඳෙන්න බැරිබව මං

මූදු හතක් ඈතින් හිටියත් නුඹ
දැනෙන්නෙ නැහැ අප දුර බව නම්
ඔබ හිනැහෙන කොට අහස බලාගෙන
තරු කැට පවසයි මට රහසින්

කවියක් ලියන්න තරමට බැහැ සිත 
එක තැනකට ගොනු කරගන්න
පුලුවන් තරමින් මම මේ ලිව්වේ
ඔබ නැති පාලුව දැනගන්න

ආයෙත් කවදා හරි එක දවසක
ආ විට එනු මැන හමුවෙන්න
එතකන් තනියට මා සිහි වෙන්නට 
මගෙ තනිකම අරගෙන යන්න