Friday, March 31, 2017

කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම....

කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම....

(ගුරු තරුව වේදිකා නාට්‍යයේ ගීතයකි)

සාහිත්‍ය ගුරුතුමා : -

කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළු
සෙවණැලි වැටී ඇත ගෙයි හැම තැනම ගොලු
දොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළු
මිදුලේ වියන ලදි සඳ රැස් පැදුරු මලු

සංගීත ගුරුතුමිය : -

වැටකොටු කුමට අලියෙකු හට වෙසෙන වනේ
මට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේ
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ
වට කලුවරක් මැද ඝන රැස් තරිඳු පෙනේ

සාහිත්‍ය ගුරුතුමා : -

කඳුගැට පපා දිලි මීදුම් සළු පාට
මට ඇති කලේ වෙනකිසිවක් නොව සීත
ලය මුව මෙන්ම ගොලු වූවත් මගෙ දෑත
ඔබ සිහිකලෙමි ලඟ ඇති ඈතේ ඈත

සංගීත ගුරුතුමිය : -

හඳ පලුවක් මතුවී නුඹ වත්තෙන්
තරු කැට ඒ වට විසිරී ඇත්තෙන්
කෙටුවා වාගෙයි පුන් සඳ කැත්තෙන්
කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්

අවසන් කවිය නාරංපනාවේ විමලරත්න කුමාරගම කවියාගේ රචනයකි


Thursday, March 30, 2017

සිඟන අම්මා

අපේ වරදට වන්දි ගෙවනා
මගෙ පුංචි සුදු පුතේ
දන්නවා මම නුඹට දැනෙනා
නිමක් නැති දුක හිතේ
අදත් ආවා නුඹ බලන්නට
එහායින් ඉඳ වැටේ
බලන් හිටියා උඹේ හුරතල්
හංගලා දුක නෙතේ

අයියලා මල්ලිලා හිටියත්
හුඟක් දුක සැප බෙදා
මවකගේ උණුහුමේ අඩුකම
කෙලෙස ගන්නද හදා
තාත්තෙක් ඉන්නවා උඹටත්
නොගත්තත් උඹ වඩා
නොදැක්කොත් උඹ මෙහෙමවත් මට
ගන්න බෑ හිත හදා

පෙලක් විට මට හිතෙනවා 
උඹ නුදුන්නානම් කියා
ඒත් එහෙනම් උඹයි ඉන්නේ 
මගේ ඇකයේ තියා
බොහොම අකමැත්තෙන් උනත් මම
පොතේ නම ගම ලියා
හැරී නොබලා ගියා මතකයි
නිවාසේ උඹ තියා

Thursday, March 16, 2017

(අ)මතක


තවමත් නුඹ මගේ හදවත පාරනවා
සිතුවිලි මතක රිදවන්නට තෝරනවා
අතැඟිලි තුලින් මියැදෙන හිත බේරෙනවා
නෙත බොඳ වුනත් හදවත මගෙ වාවනවා
හිනැහී තුටින් ඉන්නා නුඹ දැක්කාම
සතුටුයි නමුත් පුදුමයි නුඹ ගැන බොහොම
ඉස්සර මතක අමතක නැති හන්දාම
පුලුවනි නුඹට පාරන්නට හිත තාම
ඉඳහිට හෝ මා මතකෙට නැගෙනවැති
නුඹට හොරෙන් හදවත ඉකි බිඳිනවැති
කිසිදා එලෙස නොවෙතත් ඒ බව නොසිතී
මිරිඟුව වුනත් කතරට හොඳටෝම ඇති