Thursday, January 25, 2018

පේ‍්‍රමය

උත්තරා - “මට තේරෙනවා අක්කණ්ඩිගේ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩියට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්ට ඕන. ඒ කියන්නෙ කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස”
සාමා - “මම එයාගෙන් මුකුත් ඉල්ලුවේ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින්, එයාව බලා කියා ගන්ට විතරයි. ගෑනුන්ගේ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නේ නෑ...”
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්..
විලාසිනියකගේ පේ‍්‍රමය - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
කිසිවෙකුට කිසිදින නිශ්චිතව හඳුනාගත නොහැකි ප්‍රේමය නම් සංකීර්ණ ව්වුත් අපූර්ව වූත් මනෝභාවය අසෙනිය කුසුමක්මය. එබඳු ප්‍රේමය අපි ජීවිතය පුරා සොයන්නෝද? නො එසේනම් එබඳු ප්‍රේමය ජීවිතය පුරා විඳින්නෝද?

හැඟීම් සහ විඳීම්

අරමුනු හැඟුම් පොදි ඇහිරුම් අවකාස
දුරු රට ඇවිත් ගතවිය දින සති මාස
රෝහල් බිමක සතියක් කෙරුවෙමි වාස
මට සිහිවුනා ගම්පෙරලියෙ ජිනදාස

දඬුවම් මාරුවක් ලැබී රජරටට ගොස් සිටි ප්‍රේමකීර්ති ද අල්විස් එහිදී යතුරුපැදි අනතුරට ලක්‌ව දකුණු අත කැඩී රෝහලේ සිට වමතින් ලියූ කවියකි. ගම්පෙරළිය නවකථාවේ ජිනදාසද දකුණු පළාතේ සිට වෙළඳාමට ගොස්‌ බිබිලේ ඇකිරියං කුඹුර පළාතේදී වෙළඳාමද අසාර්ථක වී මැලේරියාව හැදී අසරණයකු ලෙස රත්නපුර රෝහලේදී මියයයි. ප්‍රේමකීර්ති තමාව ගම්පෙරළියේ ජිනදාස තුලින් දකී.

මිදුලේ ගහේ පීදෙන රන් තැඹිලි වලු
අම්මා අරක්ගත් කුස්සියෙ අඟුරු අළු
අලියා වැටුනු වැව අසබඩ අඟුන දළු
මේවා නොදැක මා හිමිහිට මැරෙනවලු

විමලරත්න කුමාරගම කවියා මහනුවර රෝහලේ මියයාමට දින දෙකකට කලින් තම දිනපොතේ ලියූ කවියක්.

Tuesday, January 23, 2018

කලා කරුවාණනි

කලා කරුවාණනි
නුඹ මවක් සේ මැයි
නැවුම් දිවියක් කුසෙහි දරනා
තම ගත පෝෂණය
කුස දරන කළලයට පුදනා
විලිරුදා මැදිනා
යහපතම බිහි කරන්නට
දුකම පමනක් විඳිනා

අපේ ගම

ඇළ දොළ සිඳී ගෙන යතත්
ගහ කොල කැපී විකිනෙතත්
මදනලේ සිහිල අඩු වෙතත්
තවමත් හැකිය සනසන්න
ගමට කැලඹුන සිතක්

කොන්ක්‍රීට් කඳු මතින් බැස
නොනිම් පීඩන හිස මත
නිවන්නට ඇවිලුනු සිත
පලායයි ලද අවසරින්
සිහිලස උරුම
ගම වෙත

නියර මත දුවමින්
වක්කඩින් දෙපා දොවමින්
මද නළට අත වනමින්
වැලඳ ගන්නෙමි අපේ ගම
සෙනෙහසකින් නොනිම්

Wednesday, December 6, 2017

දළ පූට්ටුවා

සියොතුන් මවෙත ඉඟි කොට
හනි හනික පියඹන විට
නෙක සොඳුරු හඬ රැඳුනු
වනපෙත නිහඬ වන විට
සාංකාවට මුහුකොට
උලලේනියද හැඬුවිට
කුමක් හෝ අනතුරක සේයා
දැනුනි මාගේ හදවතට

ගගනත ගුගුරුවාගෙන
මිහිකත සසල කරමින
ලය පසා කරගෙන
උන් හිතේ තන්හාව පිපිරින

මා වියරු නොවුනී
සිත මෙත් සිතින් පිරුනී
දෙදන බිම ඇනුනී
අවසනෙහි මට මෙසේ සිතුනී

දළ යුගල ගැනුමට
මා පණ නසන තරමට
පහත් සිති ඇති කොට
සසර නම් බෝ දුරයි නුඹලට

Wednesday, November 1, 2017

මීවිත නුඹයි මම ගී පොතකි සුගායන

නුඹ මට මවක් මැයි ලෙන්ගතු බව පිරුන
දුල පුන් සඳක් මැයි සිත් අහස සරසන
සිහිලැල් ගඟක් මැයි දිවි කතරට ගලන
සුන්දර කවක් මැයි දෙතොලග නිති රැඳෙන

පින්බර සිහිනයකි දිවියෙහි සැබෑ වුන
පහනකි හද අඳුර බිඳ සදා දැල්වෙන
ගීයට තනුවක්ය රස භාව පුබුදන
මීවිත නුඹයි මම ගී පොතකි සුගායන

ආපසු ගන්න කාලය නුඹ හා ගෙවන
යලි යලි විඳ ගන්න සුන්දර බව රැඳුන
අනුකම්පනය වන හද ස්වර නිසිව ගලපන
නුඹ වීනාවී මා උර තල මත වැයෙන

Wednesday, October 11, 2017

තාත්තේ


ගෙවෙන කාලය
නුඹ පිලිඹඳ මතකයෙන්
නුඹේ ආදරයෙන්
ස්වායතයි
තාත්තේ

එදා යුවතියකි මම
අප අතැර යනවිට නුඹ
අද පතිනියක වී
සිහි කරන්නේ
නුඹේ ආදරයමයි
තාත්තේ

පිරිමියකුගේ රළු බව
ඒ තුල රැඳුනු මුදු ගුණ
දැරීමේ, විඳීමේ අපිරිමිත බව
මෙලොව සියලුම දියණියන්
දකින්නේ විඳින්නේ
නුඹෙන්මයි
තාත්තේ

Sunday, October 8, 2017

රතු ඉර

පිනි නිදන්නට පෙර පිබිද
පුබුදුවා හිමි සඳද
දුවනවා මුලුතැන් ගෙට
වැදිල නෑ අද එලාම් එක

උණුහුම රැඳුනු තේ එක
රැගෙන ගොස් නිදන කුටියට
දෙවන වරටත් පුබුදුවා දී අතට
හනික යනවා ලිප බලන්නට

සතුට සිනහව ආදරය
බෙදා දී බත් පතට
පිටත් කර හරිනවා
කන්තෝරුවට වෙලාවට

ඉතිරි වුන යමක් කිස
අතට හසුවන යමක් ඇඳ
තෙරපෙමින් බස් රියේ
ඔරවමින් ඇඟට එන මහතුනට
අවසානයේ දුවනවා
පරද්දන්නට රතු ඉර

Friday, October 6, 2017

කසාවත...

පඬු පැහැ කසාවත
දවටා කුනු කය වට
වහිනා කෙලෙස් වැස්සෙන්
නොතෙමා ගන්න සිත
මුවා කර තල්පතින් හිස

ගලායන සංසාර බොර දියට
දෝවමින් නග්න දෙපා යුග
දුවන ඉගිලෙන
මිනිස් රිය පෙරහැරක්
මැද
පිඬුසිඟාවැඩි
ඔබ දෙනම දුටුවිට
ජීවිතය යනු කිමැයි
සිතෙයි යලි යලිත්
මට

ඡායාව..

වැව් ඉවුර මත නුඹ මමත්
ජල තලය මත සඳ වතත්
බැලුවෙමි මා නැවත නැවතත්
නුඹ දෙසත්
ඇය දෙසත්
දැනී ඒ බව ඇයට
සැලී ඈ විලියෙන්
මුවා වූවා වළාකුලකට
නුඹේ වත හා සමකරන්නට
නොහැකි හන්දා සඳවතට

Wednesday, October 4, 2017

සිහින නිවහන

අවුරුදු විසිපහකට
උකස්කර ජීවිතය
බැංකුවට වැඩපලට
ගමේ අක්කර බාගෙත්
විකුන අඩු පාඩුවට
ගෙන්දගම් පොලොවින්
සංසාරේ ගෙනියන්න
අපේම කරගත්තා
පර්චස් දහයක්ම

ඉස්කෝලෙ සීමාව
අහුවෙන්නෙ නම්  නෑ
විසිනොකර කාසි මලු
දැනුම නිදහස්
වෙන් නෑ

බිරිඳගේ කන්තොරුවට
බස් තුනෙන් යතහැකි
මට ඉතින් පාන්දර
තුනට ගියහම ඇති

ල‍යිට් නම් තියනවා
වතුර තව ඇවිත් නෑ
ගොඩ කරපු කුඹුරක්ලු
වතුර නැති වෙන්න බෑ

දැන් සේරෝම හරි
සැලසුමත් ඇන්දා
බවුන්ඩෙසමත් බැන්දා
බිත්ති ටික නග්ගන්න
කොහෙද මේ පඩිය මදි
තව ණයක් අරගන්න

Friday, September 22, 2017

නිශ්ශබ්දතාවය.....

මුනිවතින්
පෙම්වතුන්
උනුන් දෙස
නෙත් යොමා....
දොඩමලුය
හිරු වළාකුලු
ගහකොල
මදනළ

Thursday, September 21, 2017

මෑණියනි....

මෑණියනි නුඹ නම්...
මහ මෙරක් හා සම මැයි
මහ සයුර සේ විසල් මැයි
හමන නල සේ සිහිල් මැයි

වැහි පොදකි නුඹ කතරට
පන්හිඳකි කවි ගෙතුමට
සත්සරකි වෙණ වැයුමට
බණ පදකි සිත නිවුමට

දරා දුක මිහිකත මෙන්
සරා සඳ ලෙස නුඹ පුන්
හෙලූ සෙනෙහේ අම කැන්
පිනයි මා....
මකා දිවියේ රළු තැන්

Monday, September 18, 2017

සාගින්න

වැදුන කුලුගෙඩි පහරින් හිසට
නිලංකාර වීය දසතම
පිරුන නෙතු කඳුලු
ගිලිහෙන්නටත් පලමුව
දැනුනා
නැවතුනු බව හදවත

මුවහත් පිහි මන්න
පොරෝ පාරවල්
ගත හැම තැන
ඇහෙනවා ඉකි බිඳුම
ඇටකටු
කට කටාස්

ගලායනා උණුහුම්
රුහිරය තෙමා
බිම සිමෙන්තිය
මිල අනුව වෙන්කරනවා
කොටසින් කොටස
ප්‍රාණ නිරුද්ධ
මා ගත

ගාත් හතරම කොකුවල
එල්ලලා කුර සමගින
අක්මාව ලේ බේරෙන
ඉහලයිලු රසින් පිසුවම
බඩවැල් බොකුත් සේරම
පිලිවෙලකට අඩුක්
කරන අන්දම

කැපූ දිව වලිගය
ලස්සන නම්
යොදා විකිණෙන
අවසානයට හම
ගොඩ ගැසූවා
තැනක වෙනමම

මේ තරමටම නුඹලා
පෙලෙන බව දනීනම්
සාගින්නෙන්
අප සැම කැමැත්තෙන්
පැමින දංගෙට
සස ජාතකයේ මෙන්
සත්තකින් ගෙල
දෙනව පිහියට

Friday, September 15, 2017

මගේ සිහිනය

මගේ සිහිනයට
නුඹ ඇවිත්
ඒ මතින්
නුඹේ සිහිනය
සතපවා
විඳින විට
මම
හැබෑ ලෙස
නුඹේ සිහිනය
මගේම කොට
අවදි වූවා නුඹ
නුඹේ සිහිනයෙන්
මම තවම නින්දේ....

Wednesday, September 13, 2017

මත්

මත් වෙන්න තව තවත්
සිත කයෙන් වෙන් වෙන්න
හද කීතු කීතු කල
මතක සිත වෙත දෙන්න
අරන් ඒ රිදුනු සිත
අනන්තයටම යන්න
දරුනු සුන්දර මතක
එහි දමා යලි එන්න
තවත් දවසක් ඇවිත්
හීනයට ඉඩ දුන්න
මත් වෙන්න තව තවත්
තව තවත් .... තව තවත් .....

Tuesday, September 12, 2017

විඳීම්....

ඇයි හිටි හැටියෙම නපුරු උනේ හිත
විදින්න ගලකින් පුංචි පුතේ
අම්ම කෙනෙක් වෙන්නැති පැටවුන් ඇති
උන්ට මවක් දැන් නැහැනෙ පුතේ

පුංචි පැටව් බඩ ගින්නෙ හඬද්දී
කෑම හොයාගෙන එන්ට ඇතී
මියැදෙන්නට කලියෙන් ඒ අම්මට
පැටවුන් ටික සිහිවෙන්ට ඇතී

බලන් ඉන්නවා ඇති පොඩි පැටවුන්
අම්මා එනකම් කෑම අරන්
කව්ද ඉතින් දැන් ඒ දරු පැටියන්
හුරතල් කරන්නේ තුරුලු කරන්

අත්තක කොලයක් හෙලවෙන වාරෙම
රැවටී අම්මා ඇවිත් කියා
පුංචි කුරුළු තුඩු නෙත් දල්වාගෙන
අඬනව ඇති අම්මාව සොයා

රෑට තමයි පාලුව වැඩි වෙන්නේ
අම්මත් නෑ උනුහුම් වෙන්න
ඇහැකිද පුතාට අම්මා නැතිනම්
එක දවසක් තනියම ඉන්න

Friday, September 8, 2017

අප්පච්චී...

මස් පිඬු තෙමා
ලේ ඉරක් වත් ගලා යා නම්
හදවත ගැහෙන බව දැනේ නම්
ගතට නැති ශක්තිය
හිතට අරගෙන නුඹ
නහර ඉපිලෙන තුරු
කාල වර්ණ
ගොරහැඬි සම
උලුප්පා මතුවුන
ශරීර සැකිල්ල
තෙහෙට්ටු කරමින්
දිව ගිලෙන
පිපාසාවෙන් පෙලෙමින්
සංසිඳවන්න වෙර වන්නේ
අපේ ජීවන ගමනේ
යහපත් අනාගතය නම්
පිපාසාවයි
අප්පච්චී...

Thursday, September 7, 2017

පුතුනේ.....

පාලුයි ද පුතුනේ නුඹට දැන්
උන්න නම් උකුලේ උඹ නිදන්
තුරුලු කරගෙන සෙනෙහසින්
ගයමි නැලැවිළි ගී හෙමින්

පොඩි කාලෙ හඳ මාම ගෙන්
ඉල්ලුවේ කිරි පැණි මඟ බලන්
රන් තලියකට කිරි පැණි අරන්
හඳ හාමි ඇවිදින් අර බලන්

මා වගේ තව කිරි මව්වරුන්
මේ බිමේ නිදි ඇති උඹ ලඟින්
ම පුතුට හීතල දැනුනොතින්
රෑට තුරුලට වී නිදන්

හිතේ ඇවිලෙන දුක නිවන්
නුඹේ මොලකැටි සිනාවන්
දකින්නට ආයෙත් ඉතින්
මයෙ පුතේ හීනෙන් වත් වරෙන්

Monday, September 4, 2017

එකම අහස යට.....

ඔබටත් පෙනෙනවා මට පෙනෙන මේ හිරුම
ඔබටත් දැනෙනවා මට දැනෙන සඳ කිරණ
හෙලුවත් සෝ සුසුම් එකට එක මොහොතකම
කොයි තරම් නම් දැන් දුරස් දෝ අප දෙදෙන

ඔබගේ කුටිය වෙත සිහිල අරගෙන හමනා
මද නළත් මා ලඟදි උනුහුමයි ගත දවනා
ඉනුවත් නෙතු කඳුලු නුඹට මට එක ලෙසිනා
කොයි තරම් නම් නුඹ දුරස් දෝ මගෙ නෙතිනා

ලැබුවත් අපට රැය සහ දිවාකල එකට
ගෙවුනත් ලැබුව දින එකම දිනයදි අපට
ගැහුනත් දෙ හද අප ගේ එකම සත්සරට
කොයි තරම් නම් නුඹ දුරස් දෝ මගෙ හිතට