පෝය දෙකයි තව ඇත්තේ අමාවකට හිතේ
උඹ ගියාම කොහොමද හිත හදා ගන්නෙ පුතේ
මංගල සාරිය දැක්කම හැඩවෙන නුඹෙ ගතේ
සාරියෙ මුතු බොඳවී ගෙන නැගුන කඳුලු නෙතේ
බන ඇහුවට අඩු කරන්න තන්හාවන් සිතේ
ලෝබයි මට උඹව දෙන්න වෙන කෙනෙකුට මෙතේ
ලේ කිරිකර පෙව් හැටි මට මතක් වෙනව ගතේ
වරින් වරේ මා බලන්න එනව නේද පුතේ
අයියා රෑ වී එනකම් අපි ඇහැරන් ඉන්නවා
ආවම දෙන්නම එක්කහු වී කොල්ලට බනිනවා
පෙන්නුවෙ නැති උනාට උගෙ හිත හරියට හඬනවා
අයියට උඹ නංගියෙක්ට වඩා ගොඩක් වටිනවා
තාත්ත නැති අඩුව උඹට දැනෙනව ඇති හිතේ
මටත් එහෙමමයි පෙන්නුවෙ නැති උනාට පුතේ
පුංචි එකෙක් තුරුලු කරන් වරෙන් හනික අතේ
සංසාරේ නිවනට තව දුරයි මයේ හිතේ
No comments:
Post a Comment