Sunday, August 21, 2016

ලියමන

හිතේ තනියට පාලුවට පොඩි නිවාඩුවකට යන්න කියලා
ලැබුනාම මාසෙම මහන්සිය එනව මැණිකේ නුඹව සොයලා

සින්න වෙන්නට කලින් බේරා ගන්න උගසට තියපුවා
මතක් වෙනවා පුංචි දූ ගෙන එන්න කියලා කියපුවා

අම්මගේ බේතුත් අහවරයි මතක හැටියට මගෙ හිතේ
කඩේ මුදලාලිටත් බේරන්නට ඕනි ගානට සතේ

පුතා ඉල්ලපු වයින් කාර් එක මේ සැරේ මම අරන් එන්නම්
උඹට ලස්සන ගවුම් රෙද්දක් අනිත් පඩියට ගෙනත් දෙන්නම්

රූල් කොලයක් පිරෙන්නට තියනවා වියදම් අඩු නැතී
බෝඩිමේ ගානත් ගෙවන්නට ඕනි මාසෙක හිඟ ඇතී

සුමනෙ ගෙන් ගිය මාසේ ඉල්ලා ගත්තු දාහක් තියනවා
එක්කො මට මේ සැරේ නෑවිත් ඉන්න කියලා හිතෙනවා

අජිය නම් ගම් යනව කිව්වා මේ මාසෙ පඩි පහුවෙලා
උගෙ අතේ එවතැහැකි වියදම්, ඇයි නුඹේ නෙත් තෙත් වෙලා

මමත් හිතකින් නෙමේ නෑවිත් ඉන්න හිතුවේ මේ සැරේ
ගමන් වියදම එකතු කරගෙන එනවමයි ඊලඟ සැරේ

Sunday, August 14, 2016

මයෙ පුතේ

පෝය දෙකයි තව ඇත්තේ අමාවකට හිතේ උඹ ගියාම කොහොමද හිත හදා ගන්නෙ පුතේ මංගල සාරිය දැක්කම හැඩවෙන නුඹෙ ගතේ සාරියෙ මුතු බොඳවී ගෙන නැගුන කඳුලු නෙතේ බන ඇහුවට අඩු කරන්න තන්හාවන් සිතේ ලෝබයි මට උඹව දෙන්න වෙන කෙනෙකුට මෙතේ ලේ කිරිකර පෙව් හැටි මට මතක් වෙනව ගතේ වරින් වරේ මා බලන්න එනව නේද පුතේ අයියා රෑ වී එනකම් අපි ඇහැරන් ඉන්නවා ආවම දෙන්නම එක්කහු වී කොල්ලට බනිනවා පෙන්නුවෙ නැති උනාට උගෙ හිත හරියට හඬනවා අයියට උඹ නංගියෙක්ට වඩා ගොඩක් වටිනවා තාත්ත නැති අඩුව උඹට දැනෙනව ඇති හිතේ මටත් එහෙමමයි පෙන්නුවෙ නැති උනාට පුතේ පුංචි එකෙක් තුරුලු කරන් වරෙන් හනික අතේ සංසාරේ නිවනට තව දුරයි මයේ හිතේ

Friday, August 12, 2016

කුරුල්ලෝ


අපේ පාලම

අතීතයෙ ඒ දවස
මුනගැහුනු අපි සවස
අපේ පාලම උඩට
ගියා ඊයේ සවස

මාව හඳුනාගත්තු
ගඟේ රැලි අහනවා
නුඹ කොහිද නුඹ කොහිද....

නෑහුනා වගේ මම
හිනැහුනා ගඟ දියට

"කෝ ඉතින් ඔහොම මදි
තව හොඳට කට පුරා
ඉර බහින අර පැත්ත
බලාගෙන හිනැහෙන්න"

මල් කලඹ වම් අතට
සාරි පොට හුලඟකට
පාවෙලා යන්න දී
හැරුන මා.. ඉර දෙසට

ඉර පුදුම වූ ලෙසින්
මා වෙතට ලං වෙලා
"ඔබේ සෙවනැල්ල නැහැ
එය කොහෙද හැංගිලා"

කොහොම මම හිනැහෙමිද
නුඹේ හඬ ඇහෙනවා
හමා යන මද නලේ
ගලා යන ජල කඳේ

"ඔයා තව ලං වෙන්න
ඈව ලං කරගන්න
ඉන වටා අත යවා,
ඈ...
ඔබේ බව පෙන්වන්න"

"අන්න හරි...දැන් හොඳට
හිනැහෙන්න...."

හිනැහුනා මම ඉතින්
ගං දියට
මද නලට...

දුනිමි අරගෙන යන්න..
ප්‍රේමයේ අවසාන සිනා පොද

රත්තරන් පැහැ ඉරට....