ලාංකීය කවියෙහි ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන කොට්ටේ යුගයෙන් පස්සෙ යම් තරමකට හරි කවිය නැවත ඉදිරියට ආවෙ මහනුවර යුගයේ දී. මේකට ප්‍රධාන හේතුවක් වුනේ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ භාෂා දැනුම කිව්වොත් වරදක් නැහැ. නායක්කර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගෙන් පසු රජ වූ නායක්කර් වංශික රාජාධි රාජසිංහ රජතුමා දක්ෂ කවියෙක්. ක්‍රි. ව. 1780 දී රජකමට පත් වු මෙතුමා මහනුවර රාජධානිය කරගෙන් අවුරුදු 18 රාජ්‍ය කලා.
රාජාධි රාජසිංහ රජතුමාගේ ගුරුවරයා වුනේ මොරතොට ධම්මක්‌ඛන්ධ හාමුදුරුවෝ. උන් වහන්සේත් බොහොම දක්ෂ කවියෙක්. මේ අතර රජතුමාට කටකතාවක් ආරංචි වෙනවා, මල් වතු වෙහෙර වෙසෙන හාමුදුරුවො එක්ක යමිකිසි කාන්තාවක් සම්බන්ධ කමක් පවත්වන බවත් රාත්‍රී කාලයෙහි පන්සලට යන බවත්. දවසක් රජතුමා මේකෙ ඇත්ත නැත්ත සොයන්න හිතල ගැහැණියක් වහේ වෙස් වලා ගෙන රෑ තෙරුන් වහන්සේ සැතපී සිටිය කුටියේ කවුළුව ලඟට ඇවිල්ලා අතෙහි වළලු සොලවන්නට ගත්තා. වළලු හඬ අසා අවදිවූ මොරතොට හාමුදුරුවො කාරණය අවබෝධ කරගෙන සිය යහන මත වැඩහිඳ මෙන්න මෙහෙම කවියක් කිව්ව,
ලකල මුව තඹර සිය ගත සිවු මැ ලියේ
ඇසල මස දුටිමි යනවා දෙව් කෙ ළියේ
අසල ක නම් දැක - දැක ඉන්ටත් ති ලියේ
සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ
තමා හඳුනාගත් බව වටහාගත් රජු මෙන්න මෙහෙම කවියකින් උත්තර දුන් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
අමර ගුරු හරණ සත දත් පිනා වන්
විතර නොවන ගුණ නැණ සපිරිනා වන්
පවර ගුණැති මොරතොට හිමි මනා වන්
සසර වසන තුරු මට වාසනා වන්
රජතුමා කවියට ලැදි නිසාම ඔහුගෙන් කවියට ඉහල අනුග්‍රහයක් ද ලැබුනු බව ඒ කාලයේ රාජ්‍ය අනුග්‍රය යටතේ පැවැත්වුනු කවි මඩු වලින්ද පැහැදිලි වෙනවා. මෙම හිටිවන කවි විශේෂය මහනුවර යුගයේ හඳුන්වා දෙන ලද්දේ "පරහූ" නමින්. දෙදෙනකු තරඟයට කියා ගන්නා කවි මේ ගණයට අයත් වෙනවා.
රාජාධිරාජසිංහ රජුගේ කවිකාර මඩුවේ ප්‍රධාන කවියා වූයේ මුංකොටුවේ අබේසිංහ රාළයි. ඔහු මුල් කාලයේ පැවිදිව සිටි අයෙක් බවත් මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියනගේ ගෝලයකු ලෙසත් සැලකෙනවා.
මුංකොටුවේ හා සමානවම පරහූ කීමේ සමතකු වූ තවත් කවියකු වන්නේ කොත්මලේ ලෝකුරු නයිදේය. පහතින් දැක්වෙන්නේ ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ කවි කිහිපයක්.
මුංකොටුවේ රාළ
රස්‌සාවට තඹ ලෝකඩ කිරුවා
උස්‌සහ කර පෙර පාලඟ මැරුවා
විපාක නැති දේ තව බොහො කෙරුවා
එපා එන්න සබයට ලෝ කුරුවා
ලෝකුරු නයිදේ
මහණ වෙලා ගෙන්ගෙට බත් සිඟුවා
එහෙම කරල අඹු දරුවන් තැනුවා
ඔහොම නිගාකර දෙලොව රැවටුවා
කොහොම කීද මුංකොටු හීරලුවා
මුංකොටුවේ රාළ විසින් රචනා කරන ලද බවට සැලකෙන කෘතීන් තුනක් තියනවා. වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ සේවාව හා චරිතය අළලා චරිතාපදාන කාව්‍යයක් ලෙස ලියූ සඟරජ වත ඉන් පලමු කෘතියයි. කවියාගේ ගුරු හිමියන් ලෙස සැලකෙන මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන් පිළිබඳ ලියවුනු මොරතොට වත දෙවැනි කෘතිය වන අතර 1780 පමණ ලියැවී ඇති සර්වඥ ගුණාලංකාරය ද මුංකොටුවේ රාළගේ කෘතියක් ලෙස සැලකෙනවා.
ලෝකුරු නයිදේ වඩාත් ප්‍රසිද්ද වන්නේ රජු ගේ ඉල්ලීම පිට ගැයූ බොරු හතේ හිටිවන කවිය නිසාය. ඊට අමතරව සිරිපා කරුණා කරන සැදැහැවතුන් සියල්ලක්ම පාහේ ගායනා කරන පුරාණ තුන් සරණේ කවි වල නිර්මාතෘ ලෝකුරු නයිදේ ලෙස ද පිලිගැනීමක් තිබෙනවා.
පහත දැක්වෙන්නේ ලෝකුරු නයිදේ ගේ බොරු හතේ කවියයි.
කිලි කුණු නැති වඳිගෙ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්
මිරිඟු දියෙන් නානයකර පැලඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රථය තනා අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අගින් කෙවිට තනා දැක්කිය සුරපුරට උදක්
ලාංකීය කවියට වටිනා සේවයක් කල මොවුන් පිලිබඳව අද සමාජයේ තුලත් කතිකාවතක් ගොඩනැගෙනවා නම් කෙතරම් අගනේද.
No comments:
Post a Comment