Monday, August 24, 2015

ලස්සන කවි කීපයක් ඇහින්දෙමි....

පසුගිය පත්තර අතර සැරි සරද්දී අප ආදරණීය රත්න ශ්‍රී විජේසිංහ විසින් 1985 වසරේ ඔහු විසින් රචිත 'වස්‌සානේ' නම් කාව්‍ය සංග්‍රහයේ ඇතුලත් පහත කවිය ම සිත බැඳුනි.

අජානේය ඉස්‌කූටර තුරඟු පිට..
නැගී වාත වේගෙන් ඉගිළෙන කලට..
බදා හිමි දෙවුර ඉස්‌සී බලන විට..
වැටේ දැයි කිරුළ සිතුණි ය බිසවුන්ට..

පසු කලෙක මෙයින් ගීතයක් පවා බිහිවිය. ඔහු තමන්ගේ 'වස්‌සානේ' කෘතිය තම ආදරණීය බිරිඳ වන හේමමාලී ට පුද කරන්නේ පහත කවි පද පෙලිනි.


කිරි ශිරා සියක්‌ ඉල්පී..
කෘශ ළැමට ඇදී එත්මැයි..
පියයුරෝ දෙදෙන හොරැහින්..
බිම බලාගෙන හඬත්මැයි..

ලේ කඳුළු බිංදු නොසිඳී
ළැම දුකින් තෙත් කරත්මැයි
හාමතේ නොලා දෙදරුන්
රක්‍ෂා කෙරෙත්මැයි

නුඹ වින්ද දුකින් උපතෙන්
මේ කවි මගේද නොදනිම්
ලොව තනන දෑත් නොතකා
මෙය ඉතින් කාට පුද දෙම්...

තම පවුල වෙනුවෙන් තම දරුවන් වෙනුවෙන් දුක් වේදනා විඳිනා ආදරණීය බිරිඳ වෙනුවෙන්  ඔහු කෙතරම් නම් ආදරයක් ගරුත්වයක් දක්වනවාද යන්නට තවත් වචන අවශ්‍ය නැත.

නගරයේ ජීවත්වන මාසෙ පඩිය අතට ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිනා මිනිසෙකුට හරි දිනට පඩිය නොලැබුනු විට ඔහුව විස්සෝප කරන ප්‍රධාන කාරණා දෙකකි. එකක් තම බිරිඳය අනෙක මිලදී ගන්නයැයි කෑ ගසමින් එක එක ජාති විකුණන වෙලඳපොලය. මේ එවන් මිනිසකුගේ කතාව රත්න ශ්‍රි දුටු ආකාරයයි.

පඩි නැතිදාට නගරය
අකාරුණික වන්තය
රොස්‌ පරොස්‌ බස්‌ තෙපළන
අග හිඟ මැසිවිලි කියන
බුම්මා ගත් බිරියකි

කන්කරච්චල වෙළෙඳ පොළ
සාරපලය අඹ දඹ රඹද තැඹිලිද
බෝම මිලට පුම්බා කම්මුල් සිඹින
පාර දිගට ආඩම්බර ඔජ වඩන

තම බිරිඳත් දරුවනුත් වෙනුවෙන් ඔහු යෙදූ ඉතා අලංකාර රූපකයක් පහත පද දෙපලින් පිලිබිඹු වේ.

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ..
සා පැටව් එහි නිදන්නේ..

ඉහත කවි පන්තියට ද (පසු කලෙක ගීතයක් වූ) ඉතා රසවත් ඉතිහාසයක් ඇත.

තවත් සුවිසේශී කවි පන්තියක් 'වස්සානේ' දී අපට හමුවේ. එනම් තමන් පිලිබඳව තම බිරිඳ සිතන දකින ආකාරය රත්න ශ්‍රි විසින්ම ලියන්නට යෙදුනු 'රත්නෙ ඔබ' නම් කවි පංතියයි. මෙහි එන කවි කීපයක් මෙසේයි.

මිදුලේ කුරු අඹ ගහ යට
තනමල්විල මල් ගෝමර පොකුරු සිඹින
හරි කෑදර සීත සුළඟ‍
හැම ගහ වැලක ම අත කර
පාදගම් පබලු මුතු පොට
ඒ උනාට රත්නේ මේ කිසි දේකට
බෑ මගෙ හිත කිති කවන්න...

රත්නේ අපි සංසාරය බෙදා ගනිමු
දුක වැඩිපුර මගෙ කොටසට
කෙට්ටු අතට එක මිටකට
ඕනෙ බරක් සෑහෙයි මට
පුංචි දුවට බත් දෙකටට
මගේ සතුට..

තමන්ට සෙවනැල්ලක් වෙමින් අවුරුදු 40 කටත් වැඩි කාලයක් සිටි තම ආදරණීය බිරිඳගේ වියෝවින් දෑ අවුරුද්දක් ගතවූ තැන ගෙවුනු ඒ දුක්බර කාලය ගැන මෙසේ පබඳියි.

දොරට බසිමි නැත කිසි­වකු මඟ අසන
මඟට බතක්, බේතක් විමසා බලන
අතට පයට නොදැනී දෙව­සර ගෙවිණ
රැයට දවා­ලට මට තනි­කම පමණ

නැ‍ඟෙන්නේ වෙසඟ සඳ - පින්බර මුහුණ
ඉතින් නුඹ දකි­න්නට යන්නට සිතිණ
කයින් ඉතිරි කළ පස් මිට ගත් සොහොන
නිස­න්සලේ අඳුරේ එහෙම ම තිබිණ

වෙසක් දාක රෑ අප ගෙපි­ලට පැමිණ
පහන් ඇවිල වූ හැටි මා සිත ඇඳිණ
බකට් පහන ඇවි­ලෙන විට සැඬ නලින
සුළං මුවා­වට අද නුඹෙ අත නොවිණ

ඈතින් ඇසෙයි හඬ ගණ කළු­වර බුරන
මූදෙන් නැ‍ඟෙයි රළ හඬ වැළ­පුම් සරින
මූණෙන් නුඹේ අව­සන් සින­හව පෙනිණ
දෑතින් කෙසේ මම රැක­ගන්න ද පහන

කවියකු වෙනුවෙන් වත් පොතක් නොලියවෙන කලෙක රත්න ශ්‍රී ගේ ආදරණීය බිරිඳ ගැන ලාංකීය කවියන් එක්ව පොතක් ලිවූ බවම කොතරම් වටිනවාද යන්න කිවයුතු නොවේ. මේ එම පොතට එක් කල කවි කීපයකි.

ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා
දෑත නොහැර ළඟ සිටියේ කඳුළු දරා
සේම අහස දිය දී සෙනෙහස වපුරා
හේමමාලි වී ඉපදුණු යසෝදරා..

-මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

අපේ ගෙදර කේතලේට
අනෝතත්ත විලේ වතුර
අපේ ගෙදර තේ හැන්දට
හිඟුරානෙ ම සීනි මදිනෙ
නේද රත්නෙ..

-කුමාර හෙට්ටිආරච්චි

ඇයගේ මරණය වෙනුවෙන් එලියේ එල්ලා තිබූ බැනරයක් රත්න ශ්‍රී විසින් ලියූ මෙවන් කවියක් විය.

නුඹ චන්ද්‍රමඬල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ..

ශිරාණී හේමමාලි පීරිස් වන ඇයට නිවන් සුව පතමු.

මහින්ද ප්‍රසාද් මස් ඉඹුල වඩාත් ජනප්‍රිය වන්නේ ඔහුගේ 'සෙංකොට්ටං' නවකතාවෙන්. නමුත් ඔහු කලින්ම එලි දක්වන්නේ ඔහුගේ 'හිරුත් හිම පියල්ලක' නැමති කාව්‍ය සංග්‍රහයයි. පහතින් දැක්වෙන්නේ එහි ඇතුලත් වූ විචිත්‍රවත් කවි ලතා කීපයක්.

නගරයේ වෙසෙන පුද්ගලයකුට ඔහුගේ ගම පිලිබඳ මතක මෙසේ වෙයි.

ගමේ සුවඳ මල් මුවරද තවරාන
මතක මාවතේ හිතවත් මිතුරාණ
ආ විගස ම පිට වෙන අරුමය තාම
නුහුරු යි මට මම ඉවසන්නේ කෝම

රත්න ශ්‍රි මෙන්ම පඩි පතේ අගය නගරයේ අපිට දැනන අයුරු මහින්ද ද මෙසේ කවියට නගයි.

කාසි ගලන ටැප් කට පොඩි හින්දාම
සිහිල් දියෙක මං කිමිදෙන්නේ කෝම
සාක්‌කුවට අත් දෙක දා බැලූවාම
නූල් බෝලයක්‌ පැටලෙයි හැම දා ම

බිරිඳ සහ දරුවන් සඳ සහ තරු ලෙසින් උපමා රූපක යොදා ගෙතූ කවියක් මහින්ද ගේ 'හිරුත් හිම පියල්ලක' කෘතියේ ද අපට හමුවේ.

සඳ ලෙඩ වෙලා දකිනා හැම මොහොතේ ම
තරු පැටවුන්ගෙ ඇස්‌ වුව කඳුළිනි බෝම
මාසේ අගදි මඳ සිනහව ලැබුණාම
උඹලට කඩෙන් අරගෙන දෙමි සැනසීම

මෙහිදී රෝගාතුරව ඇති බිරිඳ සඳටත් දරුවන් තරු කැට වලටත් උපමා කරන මහින්ද තම පඩිය උපමා කරන්නේ මාසේ අග දී ලැබෙන මද සිනාවක් ලෙසිනි.

මෙවැනි සිත්තම් කවි කරන්නට තවත් කව් කිවිඳියන් බිහිවේවා...!


No comments:

Post a Comment