බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ
දෙනි පෙත හඬන හිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටු වග නොම හැඟුනාවේ
මා නැතිදා උන්නු සුවඳක් දැනුණාවේ
ඉහත කවි පද පෙළ බොහෝ දෙනෙක් විවිධ අර්ථ ගැන්වීම සහිතව යොදාගන්නා සුන්දර කවි පෙලක්. මේ කවියෙන් තමයි පරසතු මල් චිත්‍රපටය අවසන් වෙන්නේ.
ගම්පහ හග්ගල්ල ගමේ පී. කේ. ඩී. සෙනෙවිරත්න උපත ලබන්නේ 1917 මැයි 17 වන දාය. ඔහු ගුරුවරයෙකි, දක්‍ෂ කවියෙකි, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි, ලේඛකයෙකි, චිත්‍රපටි තිර රචකයෙකි, මානව හිතවාදියෙකි. ඔහු විසින් සරසවිය, නවයුගය ආදී පුවත්පත් වලට ද, මී වදය, සුවඳ, දේදුන්න වැනි සඟාවලට ද කවි රචනා කරන ලදී. ගංගා කුමරි, අත්තනගලු නදී කාව්‍යය, දිට්ඨ මංගලිකා, ගම්බද සුන්දරී, උන්මාද චිත‍්‍රා ඔහු විසින් රචනා කරන ලද කවි පොත් කීපයක්. එමිලි බ්‍රොන්ටේ ගේ ‘වදරින් හයිට්ස්’ නමැති ලෝක ප‍්‍රකට නවකතාව ‘උරුම ලද්දෝ’ යන නමින් සෙනෙවිරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කරන්නටද යෙදුනේය.
පී. කේ. ඩී. සෙනෙවිරත්න විසින් වසර පහක් ගුවන් විදුලියට රචිත 'කුරුළුබැද්ද' නාට්‍ය ඇසුරින් වර්ෂ 1961 දී අතිශය ජනප්‍රියත්වයට පත්වෙමින් තිරගත වූ කුරුළුබැද්ද චිත්‍රපටිය එලිදැක්විනි. මෙහි කතාව, දෙබස් සහ කවි සෙනෙවිරත්නයන් ගේය. මෙය ඉන්දීය දෙමළ චිත‍්‍රපටවල ග‍්‍රහණයෙන් මිදුණු ස්වදේශීය නිර්මාණයක් විය. තමන්ට අත්විඳීමට සිදු වූ සත්‍ය සිදුවීමක් මුල්කොට ගෙන, ඔහු විසින් ලියන ලද "ඈ කොහිද?" යන රසවත් කවි පෙලෙන් කවි දෙකක් මෙමෙ චිත්‍රපටයෙහි මනමාලියක් බක්‌කි කරත්තයෙන් කැන්දාගෙන යන ජවනිකාවක පසුබිමට යොදා ගෙන ඇත.
වත්තෙ වැටුණු පොල් අතු ටික නවම් මහේ..
පොඟවා විලේ ගම් දැරියන් සමඟ මෙහේ..
ගොඩ ඇද වියන අතරෙහි සෙල්ලමට පහේ..
ඇය දුන් සිනා කිංකිණි හඬ තවම ඇහේ..
වැඩිහිටියනට කීකරු කම නොම බින්ද..
දීගෙක ගියා ඇය හිමියකු හා බැන්ද..
දෙමාපියන් නිදහස් වූ නමුත් ඉන්ද..
පාළුයි ගමේ ඇළ දොළ වෙල ලිඳ ලන්ද..
සිකුරු තරුව ඔහුගේ දෙවැනි සිනමා තිර රචනයයි. මෙයද සැබෑ ජීවිතයේදී හොඳින් දැන සිටි පුද්ගලයකුගේ චරිතයක් 'මල්දෙණිය ගම්මුලාදැනි' ලෙස තිරයට නගමින්, ඔහුගේ අනිසි පරිපාලනය නිසා පීඩාවිඳින අහිංසක ගැමියන් එයට මුහුණ දෙන ආකාරයත්, ගැමි සමාජයත් මනාව පිළිබිඹු කරන රචනාවකි.
දේශීය වශයෙන් මහත් සේ ඇගයීමට ලක්‌ව 1967 සරසවි සම්මාන උළෙලේදී සම්මාන ගණනාවක් දිනාගත් ඔහුගේ මීලඟ තිර රචනාව 'පරසතු මල්' චිත්‍රපටයයේ තිර රචනාවයි. මේ එන ප්‍රධානම චරිතය වන බොනී මහත්තයාගේ චරිතය නිර්මාණය සඳහා ඔහු විසින් ඕමාර් බයියාමිගේ ස්‌ත්‍රිය, සුරාව, සංගීතය යන සංකල්පයත්, ඔහු පුද්ගලිකව දැන හැඳින සිටි එක්‌තරා ධනවතකුගේ සත්‍ය චරිතයෙන් ලත් ආභාසයත්, දෙකම මුසුකොට ගත් බව කියැවේ.
මෙම චිත්‍රපටියේ තිර රචනය ලියා එහි නම ලෙස සෙනෙවිරත්නයන් යොදා තිබුනේ ‘පෙම්වතුන්ගේ ලෝකය’ යන නමයි. නමුත් චිත්‍රපටියේ නිශ්පාදක චිත්‍ර බාලසූරිය මෙම නමට එතරම් කැමැත්තක් දක්වා නැති නිසා මානවසිංහයන් මුනගැසී 'පරසතු මල්' ලෙස නම සකසා ගෙන ඇත. මේ සම්බන්ධ කතා පුවත වරක් චිත්‍ර බාලසූරිය විසින් සරසවිය පුවත් පතට කියා තිබූ ආකාරය මෙහි අවසානයේ ඇත.
පී. කේ. ඩී. විසින් "රන්සළු" චිත්‍රපටිය වෙනුවෙන් රචිත තිර රචනය ද සිවිසේශී රචනයකි. සැප සම්පත් වලින් පිරුණු ජීවිතයක් ගත කරන තරුණියක් ස්‌වදේශීය සිරිත් පිළිකුල් කරමින් එංගලන්ත සිරිතට ගැතිවූ වංශවත් තරුණයකු අතින් අනාථ වී ලෞකික ජීවිතයෙන් මිදී නිමල වූ බුද්ධ ධර්මයෙහි මඟ පෙන්වීම අනුව යමින් අධ්‍යාත්මික සුවයට නැඹුරුවන අයුරු "රන්සළු" හි කථා සංෂිප්තයයි. රන්සළු චිත්‍රපටය ද මෙතෙර මෙන්ම එතෙර ද මහත් කීර්තියට සහ ජනාදරයට පත්වූ සම්මාන බොහෝමයකට උරුමකම් ලද චිත්‍රපටයකි.
පී. කේ. ඩී. විසින් රචිත "හිත්නැති මල්" සහ "ක්‌ෂේම භූමිය" යන තිර රචනයන් දෙක මෙතෙක් සිනමාවට නැගී නැත. "රන්වල් කරල්" පී. කේ. ඩී. ලියූ වෘත්තාන්ත ශෛලියේ තිර රචනයකි. තවද පණ්‌ඩුකාභය කුමරුන්ගේ උත්පත්තිය පිළිබඳ ඓතිහාසික කතා පුවත ද තිර රචනයක් ලෙස සෙනෙවිරත්න විසින් ලියන ලදී. "ප්‍රියංගා" එතුමන් විසින් අවසානයට ලියන ලද චිත්‍රපට කතා රචනයයි. එහෙත් අභාග්‍යයකට මෙන් එය සියෑසින් නැරඹීමට පෙර එතුමෝ දැයෙන් සමුගත්හ. ඒ 1970 වසරෙහි ජූලි 19 වන දාය.
ඔහු පිලිබඳව වරක් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් මෙසේ ප්‍රකාශ කර තිබුණි.
"වචනයේ පරිසමාප්ත්‍යාර්ථයෙන්ම හක්ගල්ලේ සෙනෙවිරත්න මහතා රොමාන්තික (Romantic) කවියකු බවට පත්වී සිටියේය. ඔහුගේ කාව්‍ය රිතියත්, එච්. එම්. කුඩලිගම කවියාගේ කාව්‍ය රිතියත් අතර පැහැදිලි සමානකමක් මම දුටුවෙමි. වයසින් බාල වූ මට වතාවක් හක්ගල්ලේ සෙනෙවිරත්න කවියා මුණ ගැසුණේ ගුවන් විදුලි සේවයේ කොරිඩෝරයකදීය. මම ඔහුට මගේ මතය ප්‍රකාශ කළෙමි. එවිට ඔහු මදෙස බලා සාවඥ ලෙස හිනාවක් පෑවේ ඒ හිනාව එසේ පෑවේ මක්නිසාද යන මට එකල නොවැටහුණ ද දැන්නම් මැනැවින් වැටහේ. අපේ සිංහල කාව්‍ය වංශය ඔපවත් කළ ඇතැම් කවියන් රොමාන්තික කවියන් ලෙස හැඳින්වීම ස්වදේශික නිර්මාණ රීතිය නොහඳුනන දුහුනන්ගේ මතයක් ලෙස මම බැහැර කරමි. කවියන්ගේ කාව්‍ය නිර්මාණ අනුව ඔවුන් ලේබල් කිරීම නොකටයුත්තක් ලෙස මම දැන් දකිමි. කවියා කවියෙන්ම හඳුනාගත යුතු බවත් හැම කවියක්ම එම නිර්මාණය අනුව තක්සේරු කළ යුතු බවත් මම කියමි." (මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර - සිළුමිණ - මුදු දිය දහරක්.... 10)
"ඒ කාලේ ජෝන් අමරතුංග කියලා චිත්‍රපට නිෂ්පාදකයෙක් හිටියා මිරිගම පැත්තේ. ‘සිකුරු තරුව’, ‘කුරුළු බැද්ද’ චිත්‍රපට නිෂ්පාදනය කළේ ඔහු. සිංහලකමට බර චිත්‍රපට නිසා මිනිසුන්ගේ වැඩි කැමැත්තක් ඒවාට තිබුණා. මගේ මිත්‍ර ලයනල් අල්ගම දවසක් යෝජාවක් කළා ‘චිත්‍ර නරකද අපිත් චිත්‍රපටයක් කළොත්’ කියලා. ඔය කාලේ තවත් මගේ මිත්‍රයෙක් ගම්පහ පදිංචි වෙලා හිටියා ධර්මදාස කුරුප්පු කියලා. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක්. ඔහු ඉතාම ළඟින් ඇසුරු කළා හග්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ව. ඔහු තමා ඉහත කී චිත්‍රපට කතා රචනා කළේ.
ලයනල් අල්ගමගේ යෝජනාවෙන් පස්සේ ඊට පසු දිනම මමත්, ලයනල් අල්ගමත්, ධර්මදාස කුරුප්පුත්, පී. කේ. ඩී. හමුවන්න ඔහු එවකට පදිංචිව සිටි පල්ලෙවෙල ප්‍රදේශයට ගියා. අපි ආපු කාරණය කිවව්වම සති දෙකක් ඇතුළත චිත්‍රපට කථාවක් ලියා දෙන්න ඔහු පොරොන්දු වුණා. හරියටම සති දෙකකින් චිත්‍රපට කතාව ඔහු මගේ අතට පත් කළා. කිසිම ගනුදෙනුවක් ගැන කතා නොකර පී. කේ. ඩී. එය මගේ අතට දුන්නා. එහි නම තිබුණේ ‘පෙම්වතුන්ගේ ලෝකය’ කියා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා මා තෝරා ගෙන තිබුණේ රේඛාව, ගම්පෙරළිය වගේ චිත්‍රපට නිර්මාණය කරමින් ඉතා ප්‍රසිද්ධියට පත් වෙලා හිටපු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාව. පී. කේ. ඩීත්, මමත් මේ කතාව ඔහු අතට පත් කළා. ‘ගම්පෙරළිය’ නිෂ්පාදකවරයා ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතය සිටි බැවින් වෙනත් චිත්‍රපටයක් බාර ගන්න එපා කියා ලෙස්ටර්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ කාර්යය ගාමිණීට පැවරුණේ. ලෙස්ටර්ගේ යෝජනාව සහ ඔහු ගාමිණී ගැන දුන් රෙකමදාරුව නිසා මමත් ඒ අදහසට විරුද්ධ වුණේ නැහැ. නමුත් ‘පෙම්වතුන්ගේ ලෝකය’ කියන නමට මම කැමැති වුණේ නැහැ. පී. කේ. ඩීටත් මේ ගැන මම කිව්වා. පස්සේ අපි මේ කතාවත් රැගෙන ශ්‍රීී චන්ද්‍රරත්න මානවසිංහයන් හමුවන්න ගියා. ඔහු එවකට පදිංචිව සිටියේ මහරගම. නමුත් මහවැව ප්‍රදේශයෙන් බෙහෙත් ගේන්නට එදා ඔහු ගිහින් තිබුණා. පස්සේ මම යෝජනා කළා අපි මහවැව යමු කියලා. එදාම මමත්, පී. කේ. ඩීත්, ලයනල් අල්ගමත් මගේ කාරෙකේ, මානවසිංහයන් හොයන්න මහවැවට ගියා. අපි යන කොට ඔහු මිතුරෙකුගේ නිවසේ වත්තේ පුටුවක් තියාගෙන ඉඳගෙන හිටියා. පී. කේ. ඩී. දැකපු ගමන් මානවසිංහ ඇහුවේ ‘කොහේද බං උඹ මේ යන්නේ’ කියලා. පී. කේ. ඩී. අපි ආපු කාරණේ දැන්නුවා. ‘මෙතන ඕක කරන්න බෑ බං, අපි යමු එළියට’ කියලා මගේ වාහනේම නැගලා අපි මාදම්පේ පැත්තට යනකොට සුදුවැල්ලේ දේවාලේ හමු වුණා. ඒ සුදු වැලි තලාවේම වාඩි වෙලා මානවසිංහ ‘ආ, දැන් කියහංකෝ බලන්න ඔය කතාව මොකක්ද කියලා’ කිව්වා. කතාවේ සංක්ෂිප්ත විස්තරය පී. කේ. ඩී. ඔහුට කිව්වාම මානවසිංහ එක පාරටම කිව්වෙ ‘උඹ මේ කියන්නේ අනුන්ගේ ගෑනු ගැනනේ. ඒ කියන්නේ අන් සතු. අන් සතු, පරසතු. ඔය විදියට මානවසිංහයන් ඒ වදන් උච්චාරණය කරද්දී ලයනල් අල්ගම ‘මල්’ කියා යෝජනා කළා. ඒ විදිහට තමයි ‘පෙම්වතුන්ගේ ලෝකය’, ‘පරසතු මල්’ වුණේ." (චිත්‍ර බාලසූරිය - සරසවිය)
ආශ්‍රිත ලිපි
සිංහල සිනමාව සහ කවිය පහන් කළ "හග්ගල්ලේ සිකුරු තරුව" - දිවයින
සිංහල සිනමාව පුබුදු කළ හග්ගල්ලේ කවියා - දිවයින
ඔබ නැති උවද උන් සුවඳකි දැනෙන්නේ - සිළුමිණ
මුදු දිය දහරක්.... 10 - සිළුමිණ
No comments:
Post a Comment