Thursday, January 25, 2018

පේ‍්‍රමය

උත්තරා - “මට තේරෙනවා අක්කණ්ඩිගේ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩියට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්ට ඕන. ඒ කියන්නෙ කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස”
සාමා - “මම එයාගෙන් මුකුත් ඉල්ලුවේ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින්, එයාව බලා කියා ගන්ට විතරයි. ගෑනුන්ගේ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නේ නෑ...”
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්..
විලාසිනියකගේ පේ‍්‍රමය - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
කිසිවෙකුට කිසිදින නිශ්චිතව හඳුනාගත නොහැකි ප්‍රේමය නම් සංකීර්ණ ව්වුත් අපූර්ව වූත් මනෝභාවය අසෙනිය කුසුමක්මය. එබඳු ප්‍රේමය අපි ජීවිතය පුරා සොයන්නෝද? නො එසේනම් එබඳු ප්‍රේමය ජීවිතය පුරා විඳින්නෝද?

හැඟීම් සහ විඳීම්

අරමුනු හැඟුම් පොදි ඇහිරුම් අවකාස
දුරු රට ඇවිත් ගතවිය දින සති මාස
රෝහල් බිමක සතියක් කෙරුවෙමි වාස
මට සිහිවුනා ගම්පෙරලියෙ ජිනදාස

දඬුවම් මාරුවක් ලැබී රජරටට ගොස් සිටි ප්‍රේමකීර්ති ද අල්විස් එහිදී යතුරුපැදි අනතුරට ලක්‌ව දකුණු අත කැඩී රෝහලේ සිට වමතින් ලියූ කවියකි. ගම්පෙරළිය නවකථාවේ ජිනදාසද දකුණු පළාතේ සිට වෙළඳාමට ගොස්‌ බිබිලේ ඇකිරියං කුඹුර පළාතේදී වෙළඳාමද අසාර්ථක වී මැලේරියාව හැදී අසරණයකු ලෙස රත්නපුර රෝහලේදී මියයයි. ප්‍රේමකීර්ති තමාව ගම්පෙරළියේ ජිනදාස තුලින් දකී.

මිදුලේ ගහේ පීදෙන රන් තැඹිලි වලු
අම්මා අරක්ගත් කුස්සියෙ අඟුරු අළු
අලියා වැටුනු වැව අසබඩ අඟුන දළු
මේවා නොදැක මා හිමිහිට මැරෙනවලු

විමලරත්න කුමාරගම කවියා මහනුවර රෝහලේ මියයාමට දින දෙකකට කලින් තම දිනපොතේ ලියූ කවියක්.

Tuesday, January 23, 2018

කලා කරුවාණනි

කලා කරුවාණනි
නුඹ මවක් සේ මැයි
නැවුම් දිවියක් කුසෙහි දරනා
තම ගත පෝෂණය
කුස දරන කළලයට පුදනා
විලිරුදා මැදිනා
යහපතම බිහි කරන්නට
දුකම පමනක් විඳිනා

අපේ ගම

ඇළ දොළ සිඳී ගෙන යතත්
ගහ කොල කැපී විකිනෙතත්
මදනලේ සිහිල අඩු වෙතත්
තවමත් හැකිය සනසන්න
ගමට කැලඹුන සිතක්

කොන්ක්‍රීට් කඳු මතින් බැස
නොනිම් පීඩන හිස මත
නිවන්නට ඇවිලුනු සිත
පලායයි ලද අවසරින්
සිහිලස උරුම
ගම වෙත

නියර මත දුවමින්
වක්කඩින් දෙපා දොවමින්
මද නළට අත වනමින්
වැලඳ ගන්නෙමි අපේ ගම
සෙනෙහසකින් නොනිම්

Wednesday, December 6, 2017

දළ පූට්ටුවා

සියොතුන් මවෙත ඉඟි කොට
හනි හනික පියඹන විට
නෙක සොඳුරු හඬ රැඳුනු
වනපෙත නිහඬ වන විට
සාංකාවට මුහුකොට
උලලේනියද හැඬුවිට
කුමක් හෝ අනතුරක සේයා
දැනුනි මාගේ හදවතට

ගගනත ගුගුරුවාගෙන
මිහිකත සසල කරමින
ලය පසා කරගෙන
උන් හිතේ තන්හාව පිපිරින

මා වියරු නොවුනී
සිත මෙත් සිතින් පිරුනී
දෙදන බිම ඇනුනී
අවසනෙහි මට මෙසේ සිතුනී

දළ යුගල ගැනුමට
මා පණ නසන තරමට
පහත් සිති ඇති කොට
සසර නම් බෝ දුරයි නුඹලට

Wednesday, November 1, 2017

මීවිත නුඹයි මම ගී පොතකි සුගායන

නුඹ මට මවක් මැයි ලෙන්ගතු බව පිරුන
දුල පුන් සඳක් මැයි සිත් අහස සරසන
සිහිලැල් ගඟක් මැයි දිවි කතරට ගලන
සුන්දර කවක් මැයි දෙතොලග නිති රැඳෙන

පින්බර සිහිනයකි දිවියෙහි සැබෑ වුන
පහනකි හද අඳුර බිඳ සදා දැල්වෙන
ගීයට තනුවක්ය රස භාව පුබුදන
මීවිත නුඹයි මම ගී පොතකි සුගායන

ආපසු ගන්න කාලය නුඹ හා ගෙවන
යලි යලි විඳ ගන්න සුන්දර බව රැඳුන
අනුකම්පනය වන හද ස්වර නිසිව ගලපන
නුඹ වීනාවී මා උර තල මත වැයෙන

Wednesday, October 11, 2017

තාත්තේ


ගෙවෙන කාලය
නුඹ පිලිඹඳ මතකයෙන්
නුඹේ ආදරයෙන්
ස්වායතයි
තාත්තේ

එදා යුවතියකි මම
අප අතැර යනවිට නුඹ
අද පතිනියක වී
සිහි කරන්නේ
නුඹේ ආදරයමයි
තාත්තේ

පිරිමියකුගේ රළු බව
ඒ තුල රැඳුනු මුදු ගුණ
දැරීමේ, විඳීමේ අපිරිමිත බව
මෙලොව සියලුම දියණියන්
දකින්නේ විඳින්නේ
නුඹෙන්මයි
තාත්තේ