Wednesday, January 13, 2016

රෝස කැලයේ ඇවිද යන්නට.. එන්න සුබ නැකතින් ඔයා..


හිමියනේ නුඹ සුවෙන් නොවෙදෝ.. බෝඩිමේ තනිවම රැයේ..
මමත් නිදි නෑ දුවත් තුරුලේ.. පුදුම පාලුයි මේ පැයේ..

බක් මහේ නම් ගෙදර එන්නැයි.. දෝනි කිව්වා කියැන්නැයි..
තෑගි වෙනුවට දූට ඕනෑ.. ඔබේ සෙනෙහස විඳින්නයි..

වැවෙන් මානෙල් මල් කඩාගෙන.. එල්ලිලා නුඹගේ අතේ..
ගමේ පන්සල් යන්න ඕනිලු.. දූට අවුරුදු නොනගතේ..

දේවතා එලි බැලූ හැටි.. මතකයි නුඹේ තුරුලේ වෙලී..
අදත් සඳ නැහැ පායලා නම්.. හාත්පස කලුවර වෙලී..


නැතත් නුඹෙ අත මගේ බඳ වට.. වෙලී සෙනෙහස තෙරපිලා..
ඔබේ උනුහුම ගතේ සුවඳත්.. තියේ පැදුරේ දැවටිලා..

ඉරෙන් ඉල්ලන් පාට ගාගෙන.. ඉරිඟු රන්වන් පැහැ වෙලා..
බඹරු අඹ ගහ එක්ක යාලුයි.. ගහේ අඹ මල් පීදිලා..

පුංචි දෝනිට නලවගන්නට.. පුංචි බෝනික්කෙක් සොයා..
රෝස කැලයේ ඇවිද යන්නට.. එන්න සුබ නැකතින් ඔයා..

Saturday, January 2, 2016

ඔබ....

අලුත් අවුරුද්ද ලැබුවා විතරයි
නුඹ යනවා සිත සතුට අරන්
ඉන්න කියන්නට ආස උනත් හිත
දන්නව රැඳෙන්න බැරිබව මං

මූදු හතක් ඈතින් හිටියත් නුඹ
දැනෙන්නෙ නැහැ අප දුර බව නම්
ඔබ හිනැහෙන කොට අහස බලාගෙන
තරු කැට පවසයි මට රහසින්

කවියක් ලියන්න තරමට බැහැ සිත 
එක තැනකට ගොනු කරගන්න
පුලුවන් තරමින් මම මේ ලිව්වේ
ඔබ නැති පාලුව දැනගන්න

ආයෙත් කවදා හරි එක දවසක
ආ විට එනු මැන හමුවෙන්න
එතකන් තනියට මා සිහි වෙන්නට 
මගෙ තනිකම අරගෙන යන්න