Wednesday, May 18, 2016

බලාන ඉන්නම් පෙරමග... එනු සෙනෙහස සතුට අරන්...

සිටියානම් නුඹත් වැස්සේ මගෙත් එක්ක තෙමෙන්න
සීතල හුලඟට දැනෙනා සීතල මග හරින්න
පුංචි කාලෙ වගේ වතුරෙ ඔරු පාකර යවන්න
හිතට දැනෙන මේ සිතුවිලි කවුරුත් නැහැ  කියන්න

නුඹෙ කඳුළු ද මන්දා මේ තෙමන්නෙ මගෙ හිත හොඳටම
නුඹෙ සුසුම් ද මන්දා මේ හමන්නෙ මද නළ සමගම
පුර සඳ ලෙද දුල නුඹෙ වත හංගා ගෙන කලුවරේම
නෙතු තරු කැට යුවල සොයමි ඇහැරී මම රෑ පුරාම

හිරු වී පායන්න බැරිද යලි මා ලොව එලිය කරන්
පරවුනු සෙනෙහසේ කුසුම් පිපෙන්න හද සුවඳ දරන්
කවදා හෝ නුඹ එනතුරු මහදේ දොර කවුළු ඇරන්
බලාන ඉන්නම් පෙරමග එනු සෙනෙහස සතුට අරන්

Saturday, May 14, 2016

මගෙ ලෝකයේ දොරගුලු ලමි නුඹ හට සමු දෙමින්...

පි - නුඹ මට දැනුත් සඳමය දිවි අහස එකලු කරනා..

ගැ - මට නම් දැනෙන්නේ හිරු මෙන් මා සෙනෙහස දවනා..

පි - අපගේ මතක තවමත් මුවගට මදහස නගනා..

ගැ - ඒ හැම මතකයන් මා හට කඳුලකි නෙත රැඳෙනා..


පි - පුලුවනි අපිට එක් වන්නට බැඳි සෙනෙහස නමින්..

ගැ - නැත මට තවත් හද සෙනෙහස ඉපැදෙන නුඹ නමින්..

පි - මගෙ මුලු ලෝකයම සැදුවේ මම නුඹගේ වෙමින්..

ගැ - මගෙ ලෝකයේ දොරගුලු ලමි නුඹ හට සමු දෙමින්..


පි - කෙලෙසද නුඹ නැතිව මිහිරියෙ මා ජීවත් වන්නේ..

ගැ - නුඹ සිටි කාලෙදිත් තනිවී නොවෙදෝ මා උන්නේ..

පි - පුදුමයි නුඹට නැති හැටි මගෙ සෙනෙහස වැටහෙන්නේ..

ගැ - සත්තයි නොමැත නුඹ මට පෙම් කල බව මා දන්නේ..


Saturday, May 7, 2016

තරුවක් වුනේ මම නුඹ සෙනෙහස් අහස..

ඈතයි අපි හුඟක් අපි හිතනවට වඩා..
එනමුත් තවම කල් ඇති දේ ගන්න හදා..
යලි නොකරන්න අපි සිදුකල වැරදි එදා..
එනු මැන එක සිතින් මා වෙත ප්‍රියේ මෙදා..

ඉන්නට තවත් බැහැ මේ තනි කම එක්ක..
නැත කිසි මාවතක් පැහැදිලි මම දැක්ක..
එක විසඳුමක් ඇත මගෙ හදවත රැක්ක..
ඒ නුඹ ගැනයි නුඹෙ සෙනෙහස මා එක්ක..

දිනයක් ගෙවා ගන්නට දරනා වෙහෙස..
පතමින් හැම දිනෙක මධු බඳුනෙහි පහස..
මා මියැදෙන්න පෙර පවසමි මේ රහස..
තරුවක් වුනේ මම, නුඹ සෙනෙහස් අහස..

Tuesday, May 3, 2016

අප අපගේමයි හිතවතී...

වලාකුළක හැංගී සිටි හිමකර හොරෙන් ඉඟි කරයි ම දෙස බලා...
අපේ සබඳකම් දැනිලද මන්දා උණ පඳුරත් ඔච්චම් කලා...
කණාමැදිරි එළි දිලි දිලි නිවෙමින් මගෙ ලඟ තනියට නැවතිලා..
මා පමනක් නොව නුඹත් අවදියෙන් බව මට මදනළ ඉඟි කලා....

මේ තරමට නම් නැහ කවදාවත් මගෙ සිත චංචල වී ප්‍රියේ...
නුඹ නැති පාලුව තරු පිරි අහසක සඳ නැතිවා මෙනි මුලු රැයේ..
පින්කර මදිදෝ මන්දා සසරේ විඳින්න අනන්ත පෙම ඔබේ..
මතු භවයේ නොව ලඟදිම දිනයක පවසනු වෙන බව ඔබ මගේ..

සිතන්න මිහිරියෙ මේ ලෙස දෙතැනක  ඇයි අපි විඳවන්නේ කියා..
පුලුවනි අපහට වෙනස් කරන්නට යලි අපගේ දෛවය ලියා...
කියවා මෙය ඔබ තව එක සුසුමක් පමනක් හෙලමින් නොනැවතී...
කාලය මිතුරුයි තවමත් අප හා අප අපගේමයි හිතවතී...

Monday, May 2, 2016

ඔබයි මමයි...

දුරින් මෙන් දැනෙනවා මෙමටත් ගතින් නම් අප සොඳුරියේ...

ඔබ සිතේ මා හැර කෙනෙක් නැති බවත් මගෙ මතකයෙ තියේ..

අපේ සුන්දර මතක සේරම මෙසේ කවියක පද ලෙසින්...

ලියමි මා නෙත් පියෙන තුරු මම, කියවන්න ඔබ සෙනෙහසින්...


ඔබට හිරු පායන වෙලාවට හිරු අතේ පණිවුඩ තියා...

උදෑසන පිපි මලක පෙති මත හිරු තියයි ඒවා ලියා....

සඳේ සාවිය ලඟට කැන්දා හිතේ ඇති සේරම කියා..

බල ඉන්නම් හැමදාම මම වඩින තුරු සඳ මා සොයා...


නුඹෙ සුසුම් සුවඳත් අරන් මද නල අවුත් මා වට වෙලී...

කියනවා මට හඬන හැටි නුඹ මා මෙන්ම දුක තුල ගිලී...

අනාගතයේ කෙදින හෝ ඔබ ආවොතින් මා වෙත ප්‍රියේ....

කතරකදි කෙම් බිමක් හිමිවූ ලෙසින් සිත සැනසී තියේ...