Wednesday, December 6, 2017

දළ පූට්ටුවා

සියොතුන් මවෙත ඉඟි කොට
හනි හනික පියඹන විට
නෙක සොඳුරු හඬ රැඳුනු
වනපෙත නිහඬ වන විට
සාංකාවට මුහුකොට
උලලේනියද හැඬුවිට
කුමක් හෝ අනතුරක සේයා
දැනුනි මාගේ හදවතට

ගගනත ගුගුරුවාගෙන
මිහිකත සසල කරමින
ලය පසා කරගෙන
උන් හිතේ තන්හාව පිපිරින

මා වියරු නොවුනී
සිත මෙත් සිතින් පිරුනී
දෙදන බිම ඇනුනී
අවසනෙහි මට මෙසේ සිතුනී

දළ යුගල ගැනුමට
මා පණ නසන තරමට
පහත් සිති ඇති කොට
සසර නම් බෝ දුරයි නුඹලට

Wednesday, November 1, 2017

මීවිත නුඹයි මම ගී පොතකි සුගායන

නුඹ මට මවක් මැයි ලෙන්ගතු බව පිරුන
දුල පුන් සඳක් මැයි සිත් අහස සරසන
සිහිලැල් ගඟක් මැයි දිවි කතරට ගලන
සුන්දර කවක් මැයි දෙතොලග නිති රැඳෙන

පින්බර සිහිනයකි දිවියෙහි සැබෑ වුන
පහනකි හද අඳුර බිඳ සදා දැල්වෙන
ගීයට තනුවක්ය රස භාව පුබුදන
මීවිත නුඹයි මම ගී පොතකි සුගායන

ආපසු ගන්න කාලය නුඹ හා ගෙවන
යලි යලි විඳ ගන්න සුන්දර බව රැඳුන
අනුකම්පනය වන හද ස්වර නිසිව ගලපන
නුඹ වීනාවී මා උර තල මත වැයෙන

Wednesday, October 11, 2017

තාත්තේ


ගෙවෙන කාලය
නුඹ පිලිඹඳ මතකයෙන්
නුඹේ ආදරයෙන්
ස්වායතයි
තාත්තේ

එදා යුවතියකි මම
අප අතැර යනවිට නුඹ
අද පතිනියක වී
සිහි කරන්නේ
නුඹේ ආදරයමයි
තාත්තේ

පිරිමියකුගේ රළු බව
ඒ තුල රැඳුනු මුදු ගුණ
දැරීමේ, විඳීමේ අපිරිමිත බව
මෙලොව සියලුම දියණියන්
දකින්නේ විඳින්නේ
නුඹෙන්මයි
තාත්තේ

Sunday, October 8, 2017

රතු ඉර

පිනි නිදන්නට පෙර පිබිද
පුබුදුවා හිමි සඳද
දුවනවා මුලුතැන් ගෙට
වැදිල නෑ අද එලාම් එක

උණුහුම රැඳුනු තේ එක
රැගෙන ගොස් නිදන කුටියට
දෙවන වරටත් පුබුදුවා දී අතට
හනික යනවා ලිප බලන්නට

සතුට සිනහව ආදරය
බෙදා දී බත් පතට
පිටත් කර හරිනවා
කන්තෝරුවට වෙලාවට

ඉතිරි වුන යමක් කිස
අතට හසුවන යමක් ඇඳ
තෙරපෙමින් බස් රියේ
ඔරවමින් ඇඟට එන මහතුනට
අවසානයේ දුවනවා
පරද්දන්නට රතු ඉර

Friday, October 6, 2017

කසාවත...

පඬු පැහැ කසාවත
දවටා කුනු කය වට
වහිනා කෙලෙස් වැස්සෙන්
නොතෙමා ගන්න සිත
මුවා කර තල්පතින් හිස

ගලායන සංසාර බොර දියට
දෝවමින් නග්න දෙපා යුග
දුවන ඉගිලෙන
මිනිස් රිය පෙරහැරක්
මැද
පිඬුසිඟාවැඩි
ඔබ දෙනම දුටුවිට
ජීවිතය යනු කිමැයි
සිතෙයි යලි යලිත්
මට

ඡායාව..

වැව් ඉවුර මත නුඹ මමත්
ජල තලය මත සඳ වතත්
බැලුවෙමි මා නැවත නැවතත්
නුඹ දෙසත්
ඇය දෙසත්
දැනී ඒ බව ඇයට
සැලී ඈ විලියෙන්
මුවා වූවා වළාකුලකට
නුඹේ වත හා සමකරන්නට
නොහැකි හන්දා සඳවතට

Wednesday, October 4, 2017

සිහින නිවහන

අවුරුදු විසිපහකට
උකස්කර ජීවිතය
බැංකුවට වැඩපලට
ගමේ අක්කර බාගෙත්
විකුන අඩු පාඩුවට
ගෙන්දගම් පොලොවින්
සංසාරේ ගෙනියන්න
අපේම කරගත්තා
පර්චස් දහයක්ම

ඉස්කෝලෙ සීමාව
අහුවෙන්නෙ නම්  නෑ
විසිනොකර කාසි මලු
දැනුම නිදහස්
වෙන් නෑ

බිරිඳගේ කන්තොරුවට
බස් තුනෙන් යතහැකි
මට ඉතින් පාන්දර
තුනට ගියහම ඇති

ල‍යිට් නම් තියනවා
වතුර තව ඇවිත් නෑ
ගොඩ කරපු කුඹුරක්ලු
වතුර නැති වෙන්න බෑ

දැන් සේරෝම හරි
සැලසුමත් ඇන්දා
බවුන්ඩෙසමත් බැන්දා
බිත්ති ටික නග්ගන්න
කොහෙද මේ පඩිය මදි
තව ණයක් අරගන්න

Friday, September 22, 2017

නිශ්ශබ්දතාවය.....

මුනිවතින්
පෙම්වතුන්
උනුන් දෙස
නෙත් යොමා....
දොඩමලුය
හිරු වළාකුලු
ගහකොල
මදනළ

Thursday, September 21, 2017

මෑණියනි....

මෑණියනි නුඹ නම්...
මහ මෙරක් හා සම මැයි
මහ සයුර සේ විසල් මැයි
හමන නල සේ සිහිල් මැයි

වැහි පොදකි නුඹ කතරට
පන්හිඳකි කවි ගෙතුමට
සත්සරකි වෙණ වැයුමට
බණ පදකි සිත නිවුමට

දරා දුක මිහිකත මෙන්
සරා සඳ ලෙස නුඹ පුන්
හෙලූ සෙනෙහේ අම කැන්
පිනයි මා....
මකා දිවියේ රළු තැන්

Monday, September 18, 2017

සාගින්න

වැදුන කුලුගෙඩි පහරින් හිසට
නිලංකාර වීය දසතම
පිරුන නෙතු කඳුලු
ගිලිහෙන්නටත් පලමුව
දැනුනා
නැවතුනු බව හදවත

මුවහත් පිහි මන්න
පොරෝ පාරවල්
ගත හැම තැන
ඇහෙනවා ඉකි බිඳුම
ඇටකටු
කට කටාස්

ගලායනා උණුහුම්
රුහිරය තෙමා
බිම සිමෙන්තිය
මිල අනුව වෙන්කරනවා
කොටසින් කොටස
ප්‍රාණ නිරුද්ධ
මා ගත

ගාත් හතරම කොකුවල
එල්ලලා කුර සමගින
අක්මාව ලේ බේරෙන
ඉහලයිලු රසින් පිසුවම
බඩවැල් බොකුත් සේරම
පිලිවෙලකට අඩුක්
කරන අන්දම

කැපූ දිව වලිගය
ලස්සන නම්
යොදා විකිණෙන
අවසානයට හම
ගොඩ ගැසූවා
තැනක වෙනමම

මේ තරමටම නුඹලා
පෙලෙන බව දනීනම්
සාගින්නෙන්
අප සැම කැමැත්තෙන්
පැමින දංගෙට
සස ජාතකයේ මෙන්
සත්තකින් ගෙල
දෙනව පිහියට

Friday, September 15, 2017

මගේ සිහිනය

මගේ සිහිනයට
නුඹ ඇවිත්
ඒ මතින්
නුඹේ සිහිනය
සතපවා
විඳින විට
මම
හැබෑ ලෙස
නුඹේ සිහිනය
මගේම කොට
අවදි වූවා නුඹ
නුඹේ සිහිනයෙන්
මම තවම නින්දේ....

Wednesday, September 13, 2017

මත්

මත් වෙන්න තව තවත්
සිත කයෙන් වෙන් වෙන්න
හද කීතු කීතු කල
මතක සිත වෙත දෙන්න
අරන් ඒ රිදුනු සිත
අනන්තයටම යන්න
දරුනු සුන්දර මතක
එහි දමා යලි එන්න
තවත් දවසක් ඇවිත්
හීනයට ඉඩ දුන්න
මත් වෙන්න තව තවත්
තව තවත් .... තව තවත් .....

Tuesday, September 12, 2017

විඳීම්....

ඇයි හිටි හැටියෙම නපුරු උනේ හිත
විදින්න ගලකින් පුංචි පුතේ
අම්ම කෙනෙක් වෙන්නැති පැටවුන් ඇති
උන්ට මවක් දැන් නැහැනෙ පුතේ

පුංචි පැටව් බඩ ගින්නෙ හඬද්දී
කෑම හොයාගෙන එන්ට ඇතී
මියැදෙන්නට කලියෙන් ඒ අම්මට
පැටවුන් ටික සිහිවෙන්ට ඇතී

බලන් ඉන්නවා ඇති පොඩි පැටවුන්
අම්මා එනකම් කෑම අරන්
කව්ද ඉතින් දැන් ඒ දරු පැටියන්
හුරතල් කරන්නේ තුරුලු කරන්

අත්තක කොලයක් හෙලවෙන වාරෙම
රැවටී අම්මා ඇවිත් කියා
පුංචි කුරුළු තුඩු නෙත් දල්වාගෙන
අඬනව ඇති අම්මාව සොයා

රෑට තමයි පාලුව වැඩි වෙන්නේ
අම්මත් නෑ උනුහුම් වෙන්න
ඇහැකිද පුතාට අම්මා නැතිනම්
එක දවසක් තනියම ඉන්න

Friday, September 8, 2017

අප්පච්චී...

මස් පිඬු තෙමා
ලේ ඉරක් වත් ගලා යා නම්
හදවත ගැහෙන බව දැනේ නම්
ගතට නැති ශක්තිය
හිතට අරගෙන නුඹ
නහර ඉපිලෙන තුරු
කාල වර්ණ
ගොරහැඬි සම
උලුප්පා මතුවුන
ශරීර සැකිල්ල
තෙහෙට්ටු කරමින්
දිව ගිලෙන
පිපාසාවෙන් පෙලෙමින්
සංසිඳවන්න වෙර වන්නේ
අපේ ජීවන ගමනේ
යහපත් අනාගතය නම්
පිපාසාවයි
අප්පච්චී...

Thursday, September 7, 2017

පුතුනේ.....

පාලුයි ද පුතුනේ නුඹට දැන්
උන්න නම් උකුලේ උඹ නිදන්
තුරුලු කරගෙන සෙනෙහසින්
ගයමි නැලැවිළි ගී හෙමින්

පොඩි කාලෙ හඳ මාම ගෙන්
ඉල්ලුවේ කිරි පැණි මඟ බලන්
රන් තලියකට කිරි පැණි අරන්
හඳ හාමි ඇවිදින් අර බලන්

මා වගේ තව කිරි මව්වරුන්
මේ බිමේ නිදි ඇති උඹ ලඟින්
ම පුතුට හීතල දැනුනොතින්
රෑට තුරුලට වී නිදන්

හිතේ ඇවිලෙන දුක නිවන්
නුඹේ මොලකැටි සිනාවන්
දකින්නට ආයෙත් ඉතින්
මයෙ පුතේ හීනෙන් වත් වරෙන්

Monday, September 4, 2017

එකම අහස යට.....

ඔබටත් පෙනෙනවා මට පෙනෙන මේ හිරුම
ඔබටත් දැනෙනවා මට දැනෙන සඳ කිරණ
හෙලුවත් සෝ සුසුම් එකට එක මොහොතකම
කොයි තරම් නම් දැන් දුරස් දෝ අප දෙදෙන

ඔබගේ කුටිය වෙත සිහිල අරගෙන හමනා
මද නළත් මා ලඟදි උනුහුමයි ගත දවනා
ඉනුවත් නෙතු කඳුලු නුඹට මට එක ලෙසිනා
කොයි තරම් නම් නුඹ දුරස් දෝ මගෙ නෙතිනා

ලැබුවත් අපට රැය සහ දිවාකල එකට
ගෙවුනත් ලැබුව දින එකම දිනයදි අපට
ගැහුනත් දෙ හද අප ගේ එකම සත්සරට
කොයි තරම් නම් නුඹ දුරස් දෝ මගෙ හිතට

Sunday, September 3, 2017

අහස සේ...

නුඹ අහසේ වළාකුලක්
හරි සුන්දර රටා මවන
වශී වෙලා බලන් හිටියෙ මම
හැම මොහොතෙම වෙනස් වෙමින්
ජීවිතයම නැවුම් කරන
වෙලාවකට පුදුමයි නුඹ ගැන

හිරුගෙ දාහයෙන් මුදන්න
මුවාකලා ඉර
සඳුගෙ කාන්තිය ගලන්න
මුවා වුනා නුඹ
ඉතින් කොහොම ඉන්නද
පෙම් නොකර නුඹට මම

නුඹ අහසේ වළාකුලක්
හරි සුන්දර රටා මවන
වශී වෙලා බලන් හිටියෙ මම

හදිස්සියෙම වෙනස් වුනෙත්
දුරස් වුනෙත් නුඹ
අඳුර වෙළා විදුලි මවා
නපුරු වුනෙත් නුඹ
නුඹ ගැන තේරුම් ගන්නට
වෙහෙසෙමි තව මම

Monday, July 31, 2017

පැතුම

පියා ගතිමි නෙත් මට නුඹ නොපෙනෙන්න
වසා ගතිමි දෙසවන් නුඹ නොඇසෙන්න
ආසයි මමත් නුඹ මෙන් ජිවත් වෙන්න
නින්දෙදි සිහිනයෙන් මා වෙත නොම එන්න
හිත හැම තැනින් නුඹ ගැන මතක එක්කොට
පා කර හරින්නද මම මහවැලි ගඟට
මතකෙට ඇවිත් යලි යලි හිත බිඳින විට
තරහක් නෙමෙයි ඇතිවෙන්නේ දුකක් මට
රෙබරෝසියා මල් පාවඩ ඇතිරූ මාවතේ
නුඹයි මමයි ඇවිද්ද හැටි ඇත තවමත් හිතේ
අද රැඳුනේ නැතත් නුඹේ දෑඟිලි මා අතේ
නුඹට සතුට සොම්නස මම පතනෙමි ජීවිතේ

Wednesday, July 26, 2017

කෙල්ලේ

ගලා හැලෙන දිය ඇල්ලක සුන්දර බව කෙහෙරැල්ලේ
සෙනෙහස පිරි නුඹෙ සිනහව රැල්ලකි පිපෙනා වැල්ලේ
නුඹෙ දෙතොලේ පැහැය දුටිමි ලියලන පොඩි නා දල්ලේ
කෙලෙසක නම් නුඹේ මතක අමතක කරමි ද කෙල්ලේ

Thursday, July 20, 2017

ලද නොලද ජීවිතය

පොඩි ගේට්ටුව ඇරන්
පඩිපෙල නැගගෙන 
මහ රෑට මහන්සිය
තට්ටු කල විට දොරට
අපිරිමිත සෙනෙහසින්
දොර ඇරන් සිනාසෙන
තේ එකක් හදන්නම්
ඔයා ඇඟ හෝදන්න
යන්තමින් මධුවිතක්
රස දැනෙයි හදවතට
මම කෑම හැදුවා
කෝ එන්න කවන්න
සයනයේ නුඹෙ සුවඳ
ලද නොලද ජීවිතය

නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක්

අහස කඩා වැටුනා වාගෙයි හිසට
සයුර ගලා හැලුනා වාහෙයි නෙතට
පරවුනු කුසුම් සහසක් පුදදී හදට
ඇයි නුඹ ගියේ වාවන්නේ නෑ හිතට
සුන්දර මතක එක එක ගෙන එකතු කොට
ලස්සන සිහිනයක් මැවෙනව විටින් විට
මියැදෙනු නොදී ඒ සිහිනය සැබෑ කොට
එනු මැන බිසව් මා හදවත එකලු කොට
ගෙවෙනා තත්පයර හෝරා අනන්තයක්
අපි පහු කලේ නිම නොවෙනා වසන්තයක්
නුඹ නම් මෙ මට මිහි පිට මැවු තුසීතයක්
නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක්

හුස්ම

පිට වෙන්නට කලින් මගෙ අවසන් හුස්ම
ආසයි අහන්නට නුඹෙ හදවත ගැස්ම
ගැහුනත් මගේ හදවත පැය තුන් තිස් ම
මා ජීවත් කලේ නුඹ ගෙන් ලද හුස්ම
ගුලි කර අරන් හිරු සඳ තරු අත් මිටට
පනවන්නට හිතයි ගනඳුර මුලු ලොවට
කාලය නවත්වා හරවා පසුපසට
ආසයි එන්න දුවගෙන මට ඔබ ලඟට
හිතට දැනෙන වේදනාව අකුරු කරන්
නුඹ ගැන නැගෙන සිතුවිලි නෙතු අගට අරන්
සුවපත් කරන්නට මා ඔබ ලඟට කරන්
එනතුරු බලමි පෙරමඟ මම දෑස් ඇරන්

සිතුවිලි

දඟ කරන් හිත ගාව
හිනැහෙමින් නෙතු ගාව
ජීවිතය පැතුවාම
නෑ සිතුවෙ කිසි දිනෙක
හැර දමා යැයි මාව
මගෙ සුසුම් නුඹෙ වතේ
නුඹෙ සුවඳ මා ගතේ
පෙමින් හිනැහුනු නෙතේ
සිත් දෙකක් එක සිතක් වී
නමුත් අද නුඹ නැතේ
මියැදුනත් හිත මගේ
පිරි කඳුලු නෙතු අගේ
නුඹ හීනයක් වගේ
පුදුමයි අතැර ගිය හැටි
යලි නැගෙන් සඳ වගේ

ගිම්හානයේ අකලට වට මුතු වරුසාවක්

ගිම්හානයේ අකලට වට මුතු වරුසාවක්
මැවූ දේදුන්න ඔබයි අහසේ
ජීවිතයම අද වෙනකොට කඳුලු කතාවක්
ගිහින් ඔබ මටත් හොරා රහසේ
මරු කතරේ නිල්ල නැගුනු කෙම් බිමක් ලෙසින්
පවසට පැන් විලක් ම වූයේ
කෙලෙස හිතන්නද මා නුඹ මිරිඟුවක් වෙසින්
අරුත දිවියෙ නුඹමයි කීවේ
අඳුරු අහස් කුස එලිකල විදුලියක් වගේ
ජීවිතයට එලිය ගෙනාවේ
සත්තයි නුඹ සැබෑ නොවෙන හීනයක් වගේ
නින්දෙදි මා සමඟ හිනාවේ

Monday, April 3, 2017

විඳීම්

ගිම්හානය ගෙවී එලැඹී වස්සානේ
පතොක් ගසක කටු මත පිපිලා හීනේ
නැවතුනු හදක් පිරිමැද ගෙන දී ප්‍රාණේ
ජීවත් වෙන්න අරුතක් නුඹ කීවානේ

තනිකම කැන්දාන පිල්කඩ මත හිඳුවා
මීවිත හැමදාම වැලපෙන හිත හැදුවා
මා ගැන කවුරු නැතුවත් ඉර හඳ බැලුවා
එලියට වඩා අඳුරට මම පෙම් කෙරුවා


අඩියෙන් අඩිය අත්වැල වී නැගිටින්න
තනිකම මකන්නට තනියට ලඟ ඉන්න
අඳුරට හැරුනු හදවත එලි කරවන්න
මීවිත කුමට නුඹ ඇති මට මත් වෙන්න

Friday, March 31, 2017

කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම....

කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම....

(ගුරු තරුව වේදිකා නාට්‍යයේ ගීතයකි)

සාහිත්‍ය ගුරුතුමා : -

කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළු
සෙවණැලි වැටී ඇත ගෙයි හැම තැනම ගොලු
දොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළු
මිදුලේ වියන ලදි සඳ රැස් පැදුරු මලු

සංගීත ගුරුතුමිය : -

වැටකොටු කුමට අලියෙකු හට වෙසෙන වනේ
මට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේ
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ
වට කලුවරක් මැද ඝන රැස් තරිඳු පෙනේ

සාහිත්‍ය ගුරුතුමා : -

කඳුගැට පපා දිලි මීදුම් සළු පාට
මට ඇති කලේ වෙනකිසිවක් නොව සීත
ලය මුව මෙන්ම ගොලු වූවත් මගෙ දෑත
ඔබ සිහිකලෙමි ලඟ ඇති ඈතේ ඈත

සංගීත ගුරුතුමිය : -

හඳ පලුවක් මතුවී නුඹ වත්තෙන්
තරු කැට ඒ වට විසිරී ඇත්තෙන්
කෙටුවා වාගෙයි පුන් සඳ කැත්තෙන්
කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්

අවසන් කවිය නාරංපනාවේ විමලරත්න කුමාරගම කවියාගේ රචනයකි


Thursday, March 30, 2017

සිඟන අම්මා

අපේ වරදට වන්දි ගෙවනා
මගෙ පුංචි සුදු පුතේ
දන්නවා මම නුඹට දැනෙනා
නිමක් නැති දුක හිතේ
අදත් ආවා නුඹ බලන්නට
එහායින් ඉඳ වැටේ
බලන් හිටියා උඹේ හුරතල්
හංගලා දුක නෙතේ

අයියලා මල්ලිලා හිටියත්
හුඟක් දුක සැප බෙදා
මවකගේ උණුහුමේ අඩුකම
කෙලෙස ගන්නද හදා
තාත්තෙක් ඉන්නවා උඹටත්
නොගත්තත් උඹ වඩා
නොදැක්කොත් උඹ මෙහෙමවත් මට
ගන්න බෑ හිත හදා

පෙලක් විට මට හිතෙනවා 
උඹ නුදුන්නානම් කියා
ඒත් එහෙනම් උඹයි ඉන්නේ 
මගේ ඇකයේ තියා
බොහොම අකමැත්තෙන් උනත් මම
පොතේ නම ගම ලියා
හැරී නොබලා ගියා මතකයි
නිවාසේ උඹ තියා

Thursday, March 16, 2017

(අ)මතක


තවමත් නුඹ මගේ හදවත පාරනවා
සිතුවිලි මතක රිදවන්නට තෝරනවා
අතැඟිලි තුලින් මියැදෙන හිත බේරෙනවා
නෙත බොඳ වුනත් හදවත මගෙ වාවනවා
හිනැහී තුටින් ඉන්නා නුඹ දැක්කාම
සතුටුයි නමුත් පුදුමයි නුඹ ගැන බොහොම
ඉස්සර මතක අමතක නැති හන්දාම
පුලුවනි නුඹට පාරන්නට හිත තාම
ඉඳහිට හෝ මා මතකෙට නැගෙනවැති
නුඹට හොරෙන් හදවත ඉකි බිඳිනවැති
කිසිදා එලෙස නොවෙතත් ඒ බව නොසිතී
මිරිඟුව වුනත් කතරට හොඳටෝම ඇති