Sunday, August 28, 2016

ගමනක් යමු....

ජීවිතය :- මෙච්චර කලියෙන්?

මරණය :- ඇයි ලෑස්ති නැතිද තවම?

ජීවිතය :- මම හිතුවේ තව පරක්කු වේවි කියල

මරණය :- කලින් ආව

ජීවිතය :- මට ඩිංගක් වෙලා දෙන්න
              ගෙදර කට්ටියට කියන්න

මරණය :- මොනව කියන්නද ඔච්චර
                මීට කලින් නොගිය වගේ

ජීවිතය :- ඒ උනාට
              නොකිය ගියොත් දුක හිතාවි

මරණය :- කලින් කිව්වෙ නැද්ද ඉතින්?
                දන්නව නෙව යනව කියල

ජීවිතය :- දිනයක් කිව්වේ නැහැ මම
               යන්න වේවි කියල කිව්ව

මරණය :- හා එහෙනම් කියල එමුකො
                එන්න නොයන ගමනක් යැයි

ජීවිතය :- ආයෙ ඉතින් කවද කොහොම
               හම්බවෙයිද කව්ද දන්නෙ

මරණය :- කට්ටිය නම් ඕන තරම්
                මඟදි හම්බවේවි හුඟක්

ජීවිතය :- දූට කියල එන්නම් මම
               මහත්තයට දුව කියාවි

මරණය :- කෑම මුලක් වතුර එහෙම
                සූදානම් කරල ඇතිනෙ?

ජීවිතය :- යායුතු බව දන්න නිසා
               ඒ දේවල් හදල තිබ්බ

මරණය :- ඒක හොඳයි... හුඟ දෙනාට
                මඟදි තමයි මතක් වෙන්නෙ
                අත් දෙක හිස් නේද කියල

No comments:

Post a Comment